42.31%
17.27%
32.76%
October 3, 2024

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2005 සිට 2015 දක්වා වන පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කළ බවට පවරා ඇති නඩුවකින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ(2) නියෝග කළාය.

යහපාලන රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

විමර්ශනවලින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක, ජාතික සවිය – ගම නැගුම වැඩසටහනේ පුත්තලම අධ්‍යක්ෂ සුදත් සුබසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් ඉස්මයිල් අහමඩ් කබීර් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 20ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මතයි.

42.31%
17.27%
32.76%