42.31%
17.27%
32.76%
September 25, 2024

මහමැතිවරණයට තරඟ කිරීම සඳහා තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ කර තිබියදීත්, අවසන් තීරණයක් ගැනීම සඳහා තවමත් සාකච්ඡා පැවැත්වෙන බව ‘ඩේලි මිරර්’ වාර්තා කර තිබේ.

රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් සමග ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියාසිටියේ සිය පක්ෂයේ සම්ප්‍රදායට අනුව කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

“ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම ගියාට පස්සේ තරග කළේ නැහැ. දිවංගත ජනාධිපති ඩී.බී. විජේතුංගත් ඒ දේ කළා. රනිල් වික්‍රමසිංහත් මේ සම්ප්‍රදාය අනුගමනය කරනවා” යැයි ඔවුන් එහිදී පැවසුවේය.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ උපදේශක කාර්යභාරයක් ඉටුකරන බව ද හිටපු මන්ත්‍රීවරු පැවසූහ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ ගත් තීරණය තහවුරු කළේය.

කෙසේවෙතත් අවශ්‍ය වුවහොත් රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් පෙනීසිටින බවද ඔහු පැවසීය.

ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා පුළුල් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා සමගි ජනබලවේගයේ සහාය ලබාගැනීමට තීරණය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසීය.

එහිදී සමගි ජනබලවේගයේ නායකත්වය මෙම පියවරට විරුද්ධ වුවහොත් කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස් පොදු මහා සන්ධානයකට සම්බන්ධ වීමට පක්ෂව සිටින බැවින් ඔවුන් සමඟ සාකච්ඡා කරන බවයි.

“රනිල් වික්‍රමසිංහට සහාය දුන් සියලුම පාර්ශවවල සහාය අපට තියෙනවා. නමුත් අප කිරීමට අදහස් කරන්නේ සමගි ජනබලවේගය වැනි අනෙකුත් අයගේ සහයෝගය ලබාගැනීමයි”, වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.

සන්ධානයක් පිහිටුවීම සඳහා වෙනත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් තලතා අතුකෝරාල සහ රුවන් විජේවර්ධන පත්කර ඇති බව වාර්තා විය.

නව සන්ධානයේ ලකුණ ඇතුළු අනෙකුත් තීරණ පසුව තීරණය කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%