42.31%
17.27%
32.76%
September 27, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් කාලයක් තිස්සේ නොගෙවා පැහැරහැර තිබුණේ යැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක්, ඔහු බස්නාහිර පළාත් සභාවට පෙරේදා (25) ගෙවා අවසන් කර ඇත.

සහන් ප්‍රදීප්ගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර, එය 2022 වර්ෂයේදී අනතුරකට ලක්වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණි.

රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර, සහන් ප්‍රදීප් ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.

මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහගෙන් ‘ලංකාදීපය’ කර ඇති විමසුමකදී ඇය සඳහන් කර ඇත්තේ, එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.

මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණි.

42.31%
17.27%
32.76%