August 11, 2023

එක්සත් ජනපදයේ සීඅයිඒ (CIA) සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් (William J. Burns) පසුගිය පෙබරවාරි 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේද නැද්ද යන්න තම අමාත්‍යංශය නොදන්නා බව විදේශ ඇමැති අලි සබ්‍රි ප්‍රකාශ කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, තම අමාත්‍යාංශය එක්සත් ජනපද ගුවන් යානයකට ශ්‍රී ලංකාවට පියාසර කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික අවසරයන් පමණක් ලබා දුන් බවයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් සපයන ලද තොරතුරුවලට අනුව, එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙකක් පෙබරවාරි 14 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණ ඇති බව තමන් දැන සිටි බවත්, එහිදී එක්සත් ජනපද නිලධාරීන් ගණනාවක් නිල වශයෙන් රට තුළට ඇතුළු වී සිටි බවත්, ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම ආන්දෝලනාත්මක MCC ගිවිසුම සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළකළ ඇමැතිවරයා පෙන්වාදුන්නේ, MCC යනු සිය අමාත්‍යංශයේ විෂය පථය යටතට ගැනෙන මාතෘකාවක් නොවන බවත්, එය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතට බවත්ය.

ඊට අමතරව SOFA සහ ACSA යන ගිවිසුම් සම්බන්ධයෙන්ද වගකියනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශය බව ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම දිනයේ එක්සත් ජනපද විශේෂ නියෝජිතයන් රැසක් ශ්‍රී ලංකාවට රහසිගත ලෙස ඇතුළුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් විසින්ම තොරතුරු අනාවරණය කර තිබිණි.