June 27, 2024

සිය ක්‍රිකට් ඉතිහාසය තුළ ICC කුසලානවලින් 1998 වසරේ පැවති ICC Champions Trophy එක පමණක් ජයග්‍රහණය කර සිටි දකුණු අප්‍රිකාව ICC ලෝක කුසලානයක Semi Final පරාජය වීමේ සාපය අවසන් කරමින් පළමු වරට අවසන් මහා තරගයකට අද සුදුසුකම් ලබා ගත්තේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළමිනි.

ඒ අනුව, පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සිය බොඳවූ බලාපොරොත්තු සහිතව ලෝක කුසලාන වේදිකාවෙන් ගෞරවාන්විතව බැස යද්දී දකුණු අප්‍රිකාව බාබර්ඩෝස් බලා පිටත්ව ගියේ මෙවර 20යි 20 ලෝක කුසලානයේ අවසන් සටනටයි.

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර ගමනක් පැමිණි ඇෆ්ගනිස්ථානය මුළු ක්‍රික⁣ට් ලෝකයේම ආදරය දිනාගත් බවනම් නොරහසකි.

කණ්ඩායම් හැඟීම, රට වෙනුවෙන් සටන් කිරීම, උපාය මාර්ගික ක්‍රීඩා විලාසය නිසා කිසිදු භේදයකින් තොරව ඔවුන් කා⁣ගේත් සිත් දිනා ගැනීමට සමත් වුණේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිණත බව මුළු ලොවටම පෙන්වමිනි.

ප්‍රබල නවසීලන්තය, ඔස්ට්‍රේලියාව පරාජය කර බංග්ලාදේශයත් අතුගා දැමූ ඇෆ්ගනිස්ථානය මෙවර ලෝක කුසලානය තුළ දැනෙන වැඩක් කරත් අද ඔවුන්ට වැරදිණි.

ට්‍රිනිඩැඩ්හී බ්‍රයන් ලාරා පිටියේ නව තීරුවක අද තරගය පැවති අතර තණතීරු වාර්තාවේ පවා තිබුණේ මුලින් පන්දුවට පහරදීම යෝග්‍ය බවයි.

එය තණතීරු වාර්තාව දුන් හිටපු ඔස්ට්‍රේලියා සුපිරි නායක රිකී පොන්ටිං ද තහවුරු කළ අතර ඔහු පැවසුවේ ලකුණු 150ක් 160ක් පමණ මෙම තණතීරුවේ පවතින බවයි.

ඒ වගේම මෙම පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම වාසිසහගත බව ඉතිහාසයත් සාක්ෂි දැරීය.

ඒ අනුව කාසියේ වාසියේ දිනූ ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් කිසිදු පැකිලීමකින් තොරව පිත්ත අතට ගත්තේය.

දකුණු අප්‍රිකා නායකයා පවා පැවසුවේ තමන් ද කාසියේ වාසිය දිනුවේනම් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බවයි.

නමුත් දකුණු අප්‍රිකා පන්දු බලඇණිය ඉදිරියේ අසරණ වූ ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් වෙනදාටත් වඩා කලබල වී කඩුලු පූජා කරමින් පිටියෙන් ඉවත්ව ගියේ ජීවිතේ පළමු වරට ICC ලෝක කුසලානයක අවසන් මහා තරගයකට යෑමට තිබූ මහඟු අවස්ථාව අහිමි කර ගනිමිනි.

ඇෆ්ගනිස්ථානය ලකුණු 56කට සීමා කළ දකුණු අප්‍රිකාව කඩුලු 9කින් තරගය ජය ගත්තේ පළමු වරට ICC ලෝක කුසලානයක රස පහස විඳ ගැනීමේ අවස්ථාවට යන අවසන් මාර්ගයේ දොරටු විවෘත කර ගනිමිනි.

දකුණු අප්‍රිකාව යනු ක්‍රිකට් ඉතිහාසය තුළ ICC ලෝක කුසලාන 7ක Semi Final පරාජය වූ අවාසනාවන්ත කණ්ඩායමකි.

💔 1992 ODI WC – Lost vs ENG
💔 1999 ODI WC – Tied vs AUS
💔 2007 ODI WC – Lost vs AUS
💔 2009 T20 WC – Lost vs PAK
💔 2014 T20 WC – Lost vs IND
💔 2015 ODI WC – Lost vs NZ
💔 2023 ODI WC – Lost vs AUS

ක්‍රිකට් ⁣ලෝක කුසලාන තුළ ලෝකයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙස නම් දරා සිටි දකුණු අප්‍රිකාව කලක් නිල ⁣නොලත් ලෝක ශූරයන් ලෙසත් හඳුන්වනු ලැබීය.

මෙවර 20යි 20 ලෝක කුසලානයේ මේ දක්වා ක්‍රීඩා කළ තරග 8ම ජයගත් දකුණු අප්‍රිකාව අවසන් සටනට යන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

2009 20යි 20 ලෝක කුසලානයේදීත් ශ්‍රී ලංකාව අවසන් සටනට ගියේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

නමුත් අවසන් සටනේදී ශ්‍රී ලංකාව පකිස්ථානය ඉදිරියේ පරාජයට පත්විය.

ඇෆ්ගන් ක්‍රිකට් විරුවන් අද තරගය පැරදුණත් ඔවුන් ලෝක කුසලාන වේදිකාවෙන් බැස යන්නේ වීරයන් ලෙස බවනම් නොරහසකි.

යුධ ගිනි දැල් පවතින රටට නායක රෂීඩ් ඛාන් පවා ලෝක කුසලානයට පෙර ඇෆ්ගනිස්ථානයට පය තිබ්බේ වසර 4කට පසුවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල සිට පුහුණුවීම් කරන ඇෆ්ගනිස්ථානය අද ඇවිත් තියෙන ගමන මුළු ලෝකය⁣ටම ආදර්ශයකි.

කටුක බව තුළින් රෝස මල් යහනා සොයන ඇෆ්ගන් ක්‍රිකට් විරුවන් ක්‍රිකට්වලට ආද⁣රය කරන හැමෝටම කවදාවත් අමතක නොවන වීරයන් බවනම් නොරහසකි.

#චතුරංග රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙන්…