October 31, 2023

සමාජ මාධ්‍ය ඔස්සේ, අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල කළ පුද්ගලයකුට එරෙහිව රජය නඩු පවරා ඇත.

අනූජ රෂන්ත ජයසිංහ නමැති විත්තිකරුට එරෙහිව මෙලෙස නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇත.

පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මෙලෙස ගොනුකරන ලද අධිචෝදනා පත්‍රයෙහි චෝදනා දෙකක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

2022 මැයි මස 01 වැනිදා සහ මැයි මස 31 වැනිදා අතර කාලය තුළදී යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වූ ‘ටෘත් විත් චමුදිත’ නම් වැඩසටහනේදී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් විත්තිකරු විසින් මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට සහ එමඟින් එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 යටතේ විත්තිකරු විසින් වරදක් කර ඇති බවට අදාළ චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

එසේම අදාළ ප්‍රකාශ මඟින් එම මැණික් සිද්ධියට එවකට රුවන්වැලි මහා සෑයේ අධිපතිව සිටි ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රත්නපාල හේමරතන හිමියන් වගකිව යුතු බවට ප්‍රකාශයක් සිදුකර එම හිමියන්ට නින්දා සිදුකිරීමට සහ මහජන සාමය කඩකිරීමේ අදහසින් එවැනි ප්‍රකාශයක් කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන්ද නීති සංග්‍රහයේ 490 සහ 484 යටතේ වරදක් කළ බවට චෝදනා පත්‍රයේ සටහන් කර ඇත.

42.31%
17.27%
32.76%