February 14, 2025

බස්නාහිර පළාතේ කහතුඩුව හා සබරගමුව පළාතේ රත්නපුර හරහා පැල්මඩුල්ල සම්බන්ධ කිරීමට අදහස් කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මූල්‍යමය බාධා මත රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය යෝජනා කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2010/2015 පාලන සමයේදීය.

අධිවේගී මාර්ගය 2018 දී විවෘත කිරීමට සැලසුම් කර තිබුණද, 2015 ආණ්ඩු පෙරළියෙන් පසු අපේක්ෂිත වේගයකින් එහි ඉදිකිරීම් සිදුනොවිණි.

පසුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් Maga Engineering Ltd වෙත කොන්ත්‍රාත්තුව ලබාදුන් අතර, කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3 ක දිගකින් යුත් අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භ විය.

පැයට කිලෝමීටර් 100 ක වේගයකින් යුත් මංතීරු හතරක අධිවේගී මාර්ගයක් ලෙස එය ඉදුකිරීමට නියමිතව තිබීණි. මෙම කොටස හොරණ සහ ඉංගිරිය ප්‍රදේශවල අන්තර් හුවමාරු ස්ථාන දෙකකින් සමන්විත වේ.

කෙසේවෙතත්, මූල්‍යමය ගැටළුවකට මුහුණ දී සිටින රජය එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ.

මූල්‍ය අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන Daily Mirror වෙත තහවුරු කර ඇත.

“අපි ව්‍යාපෘතිය අතහරින්නේ නැහැ, නමුත් එය අත්හිටුවා තිබෙනවා,” ඔහු පැවසීය.

කෙසේවෙතත්, රත්නපුරය දක්වා පැවති යටත් විජිත යුගයේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව ද ඔහු පවසා ඇත.

”1900-1902 කාලය තුළ කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා කැලණිවැලි මාර්ගය මුලින් ඉදිකෙරුණා. එය අවිස්සාවේල්ලෙන් විහිදී රත්නපුර හරහා ඕපනායක දක්වා ව්‍යාප්ත වුණා. දැනට දුම්රිය සේවය ක්‍රියාත්මක වන්නේ අවිස්සාවේල්ල දක්වා පමණයි.”

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉඩම් යළි පවරාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරයි.

මීට අමතරව කුරුණෑගල හරහා කොළඹ සහ මහනුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට ප්‍රමුඛත්වය දීමට ද රජය තීරණය කර ඇත.