May 15, 2024

රුසියාවට සහ යුක්රේනයට යන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙන පසුබිමක් තුළ ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ, ක්ෂණික අවධානය යොමුවිය යුත්තේ දැනට රුසියාවේ සිරවී සිටින හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම පිළිබඳ බවයි.

මෙම රටවලට යන පුද්ගලයන්ගේ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් තමන් සතුව නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවයි.

කෙසේවෙතත් එලෙස යුක්‍රේන – රුසියා යුද්ධයට සම්බන්ධවීම ස‍ඳහා ගොස් සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් බලධාරීන්ට ලැබී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඇතැම් පුද්ගලයන් රුසියාවට පැමිණීමට පෙර සංක්‍රාන්ති ස්ථාන ලෙස විවිධ රටවල් භාවිත කරන බැවින් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් රුසියාවට ගමන් කරන මාර්ග සංකීර්ණ බවත්, ඔවුන්ගේ සංචාර නිරීක්ෂණය කිරීම අපහසු වන බවත් රාජ්‍ය ඇමැති ප්‍රමිති බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.

රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, විදේශ අමාත්‍යාංශය මෙම කාරණය හසුරුවන බවයි.

රුසියාවේ සිටින අයට වීසා බලපත්‍ර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ඇති බව තහවුරු කළ රාජ්‍ය ඇමැතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද පැවසුවේය.

රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධයෙන් විශ්‍රාමික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා නිල වශයෙන් තහවුරු කළේය.

එමෙන්ම රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ, බලධාරීන් ආරක්ෂක අංශවලින් තීරණාත්මක තොරතුරු රැස් කරමින් සිටින බවත්, රුසියාවට සහ යුක්‍රේනයට ගොස් සිටින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන් පිටත්ව ගිය දිනයන්, සම්බන්ධතා, පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධ තොරතුරු එලෙස එක්රැස් කරන බවයි.

හදිසි තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංකයක් වන 0112401146 ප්‍රකාශයට පත්කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය, පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ පවත්වයි.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඇතුළු කිහිපදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අනාවරණය කළේය.

42.31%
17.27%
32.76%