June 3, 2024

මෙරටින් ගිය හිටපු හමුදා සාමාජිකයන් රැසක් දැනට රුසියානු සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ලෙස බැඳී සටන්වල ​​නිරතව සිටින බව රුසියානු බලධාරීන් මෙරට බලධාරීන්ට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

මොස්කව්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සහ රුසියානු බලධාරීන් අතර පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 30) සවස පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තහවුරු කිරීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් අමතමින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මාධ්‍ය වෙත කියා සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සෙබළුන් සැබවින්ම රුසියානු සන්නද්ධ හමුදාවන්හි කොටස්කරුවන්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීමේ අරමුණින් සහ විකල්පයන් ගවේෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව අදාළ සකාඡාවට සහභාගී වන බවයි.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් යුද පෙරමුණෙන් ඉවත් කරගැනීමට සහ ඔවුන් නැවත ගෙන්වා ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු සෙවීමට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබිණි.

මූලික වශයෙන්, ඔවුන් බඳවා ගනු ලැබුවේ රුසියානු රජයේ හමුදා විසින් මිස වැග්නර් වැනි පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් නොවන බව දැන් සහතික වී ඇති බව වාර්තා වෙයි.

රුසියානු බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ හිටපු සෙබළුන් ඔවුන්ගේ සටන් කණ්ඩායම්වල සිටින බවත් ඔවුන් ගිවිසුම් අත්සන් කර බැඳී සිටින බවත් සටන්වලට සහභාගී වී සිටින බවත් තහවුරු කර ඇති බව රාජ්‍යයේ ඉහළපෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රුසියානු බලධාරීන් පවසා ඇත්තේ සිය හමුදා සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරු අතහැර ඔවුන්ට අවශ්‍ය පරිදි පිටව යා නොහැකි බවයි.

එය රුසියානු හමුදා විධානය විසින් අනුමත කළ යුතු බව රුසියානු බලධාරීන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.

පසුගිය සමයේ චෝදනා එල්ල වුයේ පරිපාලන සහ සැපයුම් රාජකාරි සඳහා යොදවන බව පවසා ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් 1,000කට ආසන්න පිරිසක් රුසියාවට යොමුකර පසුව යුක්රේන පෙරමුණේ ඉදිරි පෙළ සටනට යොදවා ඇති බවය.

එලෙස රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු ‘අතුරුදහන්’ වී ඇතැයි විශ්වාස කරන බවත්, රුසියානු සේවයේ සිටින ලාංකිකයන් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 460කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එසේම කොළඹ රුසියානු තානාපති Levan Dzhagaryan විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සමඟ කොළඹදී පසුගිය සතියේ මාධ්‍ය හමුවට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ හිටපු සෙබළුන් රැකියා ලබා ගැනීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳ තමා නොදන්නා බව තරයේ කියා සිටියේය.

ඔහු මොස්කව් සිට තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත් එවැනි ගිවිසුම් වල නීත්‍යනුකූලභාවය ගැන කතා කළ නොහැකි බවත් ඔහු පැවසීය.

රුසියානු සන්නද්ධ හමුදාවලට ඇතුළු වී සිටින සිය ගණනක් ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබා දීමේදී එවැනි ගිවිසුම් පිළිබඳ කොළඹ රුසියානු තානාපති කාර්යාලය නොදැන සිටි බව Dzhagaryan අවධාරණය කළේය.

ඔවුන් වෙනුවෙන් සටන් කරන කුලී හේවායන් පිළිබඳ රුසියාවේ ප්‍රතිපත්තිය ගැන විමසූ විට, Dzhagaryan ප්‍රකාශ කළේ ‘ස්වේච්ඡා සේවකයන්’ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් රුසියානු රජයට ප්‍රශ්නයක් නොමැති බවයි.

රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ ඉහළපෙළේ දූත පිරිසක් මේ සතියේ (5) රුසියාවට යෑමට සැලසුම් කර තිබිණි.

කෙසේවෙතත්, වාර්තාවන පරිදි මෙම සතිය සඳහා ඉල්ලා සිටි රැස්වීම රුසියාව අනුමත කර නොමැති අතර ඒ වෙනුවට ජුනි 26 වැනිදා හමුවීමක් ලබා දී ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%