June 20, 2023

රුපියල උච්ඡාවචනයට ඉඩ නොදී ස්ථාවරව පවත්වාගෙන යෑම මහ බැංකුවේ ප්‍රධානතම කාර්යභාරයවන නමුත් අද වන විට රුපියල පිංපොං බෝලයක් මෙන් ඉහළ පහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මහ බැංකු පනත යළි කියවා බැලිය යුතු බවයි.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කර ඇත.

”ජීවන වියදම පාලනය කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය ඉටුවෙනවාද නැද්ද කියල සැකයක් තියෙනවා. මහ බැංකුවේ ප්‍රධානතම කාර්යභාරය තමයි විනිමය අනුපාතිකය සමබරව පවත්වා ගැනීම. එක් පැත්තකින් රුපියලේ අගය පහත වැටීමෙන් ආනයනකරුවන් සහ ආනයන අමුද්‍රව්‍ය මත පදනම් වූ කර්මාන්ත කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් රුපියල ශක්තිමත් වීමෙන් අපනයනකරුවන් අමාරුවේ වැටෙනවා.”

”ඩොලරය පහළට එන්න ඕන. ඒ සඳහා තමයි මහ බැංකුව තියෙන්නේ. ඒ වගකීම ඉටු කරන්නේ නැතුව අද රුපියල පිංපොං බෝලයක් වගේ උඩ පහළ යනවා. රුපියල පිංපොං බෝලයක් වෙනවා නම් මහ බැංකුව මොකටද?”

”රුපියල පහළ යන වෙලාවේ මහ බැංකුව රුපියල බෙදාහැරලා ඩොලර් මිලදී අරන් තමන්ගේ සංචිතවලට එකතු කරගත්ත නම්, ඩොලර් ඉහළයන වෙලාවේ සංචිත මුදාහැරල රුපියල ස්ථාවර කරගන්න තිබුණා. මහ බැංකුව තමන්ගේ ව්‍යවස්ථාපිත වගකීම ඉටුකළේ නැහැ. සමහරු කියනවා අපි දැන් වෙළෙඳපොළට මැදිහත් වෙන්නේ නෑ කියල. ඒ ඇමැතිතුමන්ලා ආර්ථික විද්‍යාවේ දැනුම තමයි ප්‍රදර්ශණය කරලා තිබුණේ.

මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමක් වෙන්නේ වෙළෙඳපොළට මැදිහත්වෙමින් රුපියල ස්ථාවරව පවත්වාගෙන යෑම. තමන්ගේ වගකීම මොකක්ද කියල මහ බැංකුව දන්නේ නැතිනම් මහ බැංකු පනත යළි කියවා බලන්න කියල මහ බැංකුවේ ලොක්කන්ට මම ආරාධනා කරනවා”