February 16, 2024

අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රබර් අස්වනු නෙළන සහායකයන් 169 දෙනෙකුට සති දෙකක පුහුණුවකින් පසු NVQ-3 සහතික ප්‍රදානය කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව රබර් කර්මාන්තයේ රබර් අස්වනු නෙලීමේ සහායකයන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා සහතික ලබාදීමට ජාතික ආධුනිකත්ව මණ්ඩලය පියවර ගෙන ඇත.

ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත්‍ර ප්‍රදානයේදී රබර් අස්වනු නෙළන සහායකයන් සඳහා උපාධි සළුවක් සහිතව සහතිකපත් පිරිනැමීමට රබර් පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.

එම උත්සවය අමතමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මෙසේ පවසා ඇත.

“අපේ රටේ රබර් ගස් මිලියන 35ක් පමණ තිබෙනවා. රබර් අස්වැන්න ලබාගන්නේ එයින් ලක්ෂ 170ක පමණ ප්‍රමාණයකින් පමණයි. ඉතිරි රබර් ගස් මිලියන 18ක අස්වැන්නක් ලැබී නැහැ. අපේ රටේ රබර් දැනට ලෝකයේ හොඳම රබර් ලෙස සැලකෙනවා. වාර්ෂිකව රබර් අපනයනයෙන් අපේ රටට ඩොලර් මිලියන 1000ක් ලැබෙනවා. නමුත් මේ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව තිබෙනවා. පහළ තෙත් කලාපයේ විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගා කරන බොහෝ ඉඩම්වල නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් මේ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය. තවත් ප්‍රශ්නයක් තමයි ශ්‍රම හිඟය. මේ නිසා රබර් කිරි කැපීමට නව තාක්ෂණය හඳුන්වාදිය යුතුයි.”

එසේම, මෙම ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කරනවාද නැද්ද යන්න පිළිබඳව සළකා බලන ලෙස ද ඇමැතිවරයා රබර් පර්යේෂණ ආයතනයෙන් ඉල්ලා තිබේ.

ඒ වෙනුවට වියළි කලාපයේ මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කළ හැකි බවද හෙතෙම සදහන් කර ඇත.