December 30, 2024

පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ මේ යටතේ අස්වැසුම හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා එක් ළමයකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

එය 2024.12.27 දින වන විට අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බව ද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කර තිබේ.

එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා මාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව වී ඇත.

රජය මෙම තීරණයට එළඹ ඇත්තේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව හෙළිවූ කරනු සැළකිල්ලට ගනිමිනි.

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිව යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බවත් ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇති බවත් එමගින් හෙළිකර තිබිණි.

මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වී ඇති අතර මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිත කරන ලද පාසල් ලිපිද්‍රව්‍ය නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් අනාවරණ වී තිබිණි.

42.31%
17.27%
32.76%