42.31%
17.27%
32.76%
October 18, 2023

අස්ථානගතව තිබූ නඩු ලිපිගොනුවක් අදාළ නඩුවේ චුදිතයා සන්තකයේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.

ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති නඩු 07කට සම්බන්ධ පුද්ගලයෙක් බව වාර්තා සඳහන් කරයි.

මෙම නඩු ගොනුව අස්ථානගත කිරීම සහ කූඨ ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ද පසුගියදා (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජීවිත රක්ෂණ සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ගෙනගිය නඩුවකට අදාළ පුද්ගලයෙක්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය චෝදනා 08කින් චෝදනා 07කටම වැරදිකරු කරමින් පෙබරවාරි 15 වැනිදා සිරදඬුවම් නියම කර ඇත.

එම පුද්ගලයා එදිනම අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් ඇප ලබාගෙන ඇති අතර, පසුව එම අභියාචනය විභාග කිරීම සඳහා අදාළ නඩු ගොනුව අධිකරණයට යැවීමට සොයාබැලීමේදී එය අස්ථානගත වී ඇතැයි අධිකරණ ලේඛනාගාර නිලධාරිනියට හසුව තිබේ.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඇත.

එමෙන්ම පසුගිය 12 වැනිදා ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය අධිකරණ නියෝගයක් සහ නඩු ගොනුවක් රහිතව ලිපියක අකෘතියක් යතුරු ලියන්නියකට ඉදිරිපත් කර එය යතුරුලියනය කර දෙන ලෙස ඉල්ලා තිබේ.

මෙහිදී යතුරුලියන්නිය අදාළ ලිපිය හොඳින් පිරික්සීමේදී එම ලිපියේ සඳහන් නඩු අංකය අස්ථානගත වූ නඩු ගොනුවේ අදාළ අංකයට සමාන බව හඳුනාගෙන ඇති අතර, පසුව මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් ආරම්භ කරන ලෙස දැනුම් දී ඇත.

සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ආගමන විගමන පාලකවරයා වෙත චූදිතයාගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම ඉවත් කළ බව සඳහන් ලිපියක් ෆැක්ස් මගින් යොමුකර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ කොළ කැබැලි කිහිපයක් ඇගේ කසළ බඳුනක තිබී සොයාගෙන තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නඩු ගොනුව අස්ථානගතව ඇති බව අධිකරණයට දැනුම් දී ඇති අතර, පසුව එම නඩු ගොනුව සමග සැකකරු කොටුකර ගෙන ඇත.

මෙම සැකකරු අදාළ ලිපිගොනුව ලබාගැනීම සඳහා රෙජිස්ට්‍රාර්වරියට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකාර රෙජිස්ට්‍රාර්වරිය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, නඩු ගොනුව සමග අත්අඩංගුවට ගත් සැකකරු ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

42.31%
17.27%
32.76%