March 20, 2025

අධිකරණයට අපහාස කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබේ.

නීතීඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පියට්‍රංගේලි විසින් ගොනුකරන ලද මෙම පෙත්සම මගින් 2023 නොවැම්බර් 8 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරයකදී රොෂාන් රණසිංහගේ අශෝභන හැසිරීම අභියෝගයට ලක්කර තිබිණි.

නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා එම අයැදුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීමක් කළ අතර, එය වියදමකින් තොරව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හේතුවිය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙත්සම්කරුට සහාය පළකර තිබූ අතර, මහාචාර්ය ජී.එල්., පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙත්සමට විරුද්ධ විය.

පළමු වගඋත්තරකාර රොෂාන් රණසිංහ සහ මැදිහත් වූ පෙත්සම්කරුවන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු අධිකරණ බලය නොමැතිකම සහ යුක්තිසහගත නොවීම යන කරුණු මත පෙත්සම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබිණි.

මෙම තත්ත්වය හමුවේ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තේය.

පෙත්සම්කරු වෙනුවෙන් සුසී බෙලිං සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනීසිටියහ.

ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ ජනාධිපති නීතිඥ කනග්-ඊස්වරන් සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ෂෙනාල් ප්‍රනාන්දු පෙනී සිටි අතර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු වෙනුවෙන් එන්.කේ. අශෝක්භාරන් පෙනීසිටියේය.