December 28, 2024

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් සඳහා මානුෂීය රැකවරණ ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන 47ක සාමූහිකයක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

2024 දෙසැම්බර් 19 වැනි දින උදෑසන රෝහින්ග්‍යා සරණාගතයන් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරය දෙසට පාවී පැමිණ තිබිණි.

මෙම බෝට්ටුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එදින සවස ත්‍රිකුණාමලය වරායේ අෂ්රොෆ් ජැටිය වෙත රැගෙන ගොස් 2024 දෙසැම්බර් 20 වැනි දින ත්‍රිකුණාමලයට ගොඩබස්වන ලදී.

මෙම පිරිස මුලදී රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් රැකබලා ගන්නා ලද අතර ඔවුන්ට සත්කාර කරන ලද්දේ ත්‍රිකුණාමලයේ ජමාලියා පාසලේය.

අනතුරුව ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

අධිකරණයේදී සරණාගතයන් පැහැදිලි කළේ තමන් සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ඔවුන් බෝට්ටු තුනකින් පිටත්ව තිබුණ ද සරණාගතයන් 103 දෙනෙකු සහ ඔවුන්ව මෙහි ගෙන ආ පුද්ගලයන් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 115 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියේ එක් බෝට්ටුවක් පමණි.

සරණාගතයන් 103 දෙනා මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතව තිබියදී ඔවුන් රැගෙන ආ 12 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ආගමන විගමන නිලධාරීන් මෙම පිරිස පිළිගැනීමට සූදානම් නොවීම නිසා ඔවුන්ව මිරිහාන ප්‍රදේශයට මාරුකර යැවීමේ මූලික උත්සාහය අසාර්ථක විය.

සරණාගතයන් හට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ සැලසීම සහ මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශවල නාවික හමුදාව, රාජ්‍ය නිලධාරීන්, පුරවැසියන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් හදිසි ආධාර සැපයීම ප්‍රශංසනීය වේ.

කෙසේවෙතත්, ඔවුන් දිගු වේලාවක් මුහුදේ රඳවා තබා ගැනීම සහ ඔවුන් නවාතැන් ගත යුතු ස්ථානය තීරණය කිරීමේදී නිතර සිදුවන වෙනස්කම් ගැන කණස්සල්ලට හේතුවී ඇත.

මේ සරණාගතයන්ගේ කතා හදවත කම්පා කරවන සුළුය.

ඔවුන් මියන්මාරයෙන් බෝට්ටු තුනකින් පිටත් වූ අතර ශ්‍රී ලංකාවේ වෙරළට පැමිණියේ එක් බෝට්ටුවක් පමණි.

ඛේදජනක ලෙස, ගමන අතරතුර කුසගින්නෙන් දරුවන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු මුහුදට විසි කිරීමට සිදුව තිබේ.

සරණාගතයන් මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර හේතුවෙන් නැවත පළා යෑමට සිදු වූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

42.31%
17.27%
32.76%