42.31%
17.27%
32.76%
October 14, 2023

දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ යෑමෙන් 2025 වන විට ශ්‍රී ලංකාවට ඉඩම් හෙක්ටයාර 6,110ක් අහිමි වන අතර,වසර 2100 වන විට හෙක්ටයාර් 25,000ක් අහිමි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.

“දේශගුණික විපර්යාස සෞඛ්‍යයට බලපෑම” යන තේමාව යටතේ කළුතර වාද්දුව ප්‍රදේශයේ පැවති වැඩමුළුවක් අමතමින් සාර්ක් ආහාර සංගමයේ උප සභාපති පී.ජී හේමන්ත කුමාර පෙන්වාදී ඇත්තේ, වසරක් ඇතුළත ආන්තික කාලගුණික සිදුවීම් නිසා ශ්‍රී ලංකාව ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ දෙවන ස්ථානයට පත්ව ඇති බවයි.

ලෝක බිත්තර දිනය නිමිත්තෙන් එක්සත් ජනපදයේ සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ සාර්ක් ආහාර සංගමය සහ ලෝක කුකුළු විද්‍යා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

දිනකට ලන්ච් ෂීට් ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් සහ පොලිතින් මළු 150,000ක් පමණ භාවිත වන බවත්, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල පොලිතින් පරිභෝජනය මසකට කිලෝ 0.5ක් පමණ වන බවත් ඔහු පෙන්වාදී තිබේ.

මූලික වශයෙන් දේශගුණික විපර්යාස සෞඛ්‍යයට සෘජුවම බලපෑම් සිදු කරනු ලබන්නේ, උෂ්ණත්වය ඉහළ යෑම සහ තාප තරංගවල සංඛ්‍යාතය සහ තීව්‍රතාවය නිසා යැයි ඔහු පවසයි.

සත්ව සෞඛ්‍යයට එහි බලපෑම ගත් කළ, දේශගුණික විපර්යාස නිසා කුකුළන්ගේ ඉහළ චලනය, අඩු බිත්තර හා මස් නිෂ්පාදනය, නව කුකුළු රෝග මතුවීම සහ එහි ව්‍යාප්තිය, අඩු ගුණාත්මක බව, සෞඛ්‍යයට අහිතකර බිත්තර සහ මස් හේතු විය හැකි බව ඔහු අනාවරණය කරයි.

මෙය ආහාර සුරක්ෂිතතාවයට බලපාන බව ද ඔහු සඳහන් කරයි.

2030 සහ 2050 අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් වසරකට ආසන්න වශයෙන් 250,000 අතිරේක මරණ, මන්දපෝෂණය, මැලේරියාව, පාචනය සහ තාප ආතතියෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පවසයි.

42.31%
17.27%
32.76%