42.31%
17.27%
32.76%
October 3, 2024

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් රජයෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ විනිවිදභාවයේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කරමින් සුමන්තිරන් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම සිදුකළේය.

මෙම සුරාසැල් විවෘත කිරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලෙස එහිදී ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

“රට පුරා සුරාසැල් සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් පවතිනවා, මෙම බලපත්‍ර අනුමත කිරීමට නිර්දේශ කළේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දේශපාලඥයන්ද යන්න මහජනතාව දැනගත යුතුයි. ඉදිරි මැතිවරණයට පෙර මෙය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. එවිට ඊට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේ දී තනතුරුවලින් ඉවත් කළ හැකියි, ”යනුවෙන් සුමන්තිරන් ප්‍රකාශ කළේය.

සුමන්තිරන් අවධාරණය කළේ මත්පැන් අලෙවිසැල් වැඩිවීම තරුණ පරම්පරාවට අහිතකර බලපෑම් ඇති කරමින් සැළකිව යුතු සමාජ ප්‍රශ්නයක් මතුකර ඇති බවයි.

සුරාසැල් ව්‍යාප්ත කිරීමට රහසිගතව පහසුකම් සැලසූ දේශපාලනඥයන් සහ පුද්ගලයන් ජනතාව අතරට ගෙන ආ යුතු බව ඔහු සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ඇතැම් පුද්ගලයන් මුල්‍ය වාසි තකා මත්පැන් බලපත්‍ර විකුණා ලාභ ලැබූ බවට තොරතුරු පවතින බවයි.

විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදී ඇති බවද සුමන්තිරන් පෙන්වා දුන්නා.

“මෙම අතිරික්ත ප්‍රතිලාභ අඩු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික දුෂ්කරතා ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි වරප්‍රසාද භුක්ති විඳීම සුදුසු නැහැ,”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අනවශ්‍ය ප්‍රතිලාභ අවම කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම තීරණාත්මක බව ප්‍රකාශ කරමින් වරප්‍රසාද අඩු කිරීම සඳහා තම පක්ෂයේ සහාය ඔහු යළිත් අවධාරණය කළේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ නාමයෝජනා ලබා දීමේ කටයුතු පිළිබඳවත් නව තරුණ මුහුණු හඳුන්වා දීමට ඔවුන් අපේක්ෂා කරන බවත් විශේෂයෙන් කාන්තාවන් අපේක්ෂකත්වය සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය බවත් ඔහු මෙහිදී වැඩිදුරත් පැවසීය.

 

42.31%
17.27%
32.76%