February 9, 2025

රුසියාවේ හෝ යාබද රටවල රැකියාවක් සොයන විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්පූර්ණ පසුබිම් පරීක්ෂාවකට ලක්කෙරෙන බව වාර්තා වේ.

ඒ, ඔවුන් වෙනත් ආකාරයේ රැකියා සොයන මුවාවෙන් රුසියාවේ හමුදා ක්‍රියාකාරකම්වල යෙදීමට උත්සාහ කරන්නේ ද යන්න හඳුනාගැනීම සඳහාය.

මෙම පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත්තේ යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු යුද පෙරමුණේදී රුසියානු හමුදා සමඟ සටන් කිරීමට හිටපු හමුදා නිලධාරීන් වාසිදායක දීමනා යෝජනා කර ආකර්ෂණය කර ගන්නා බවට පළවන වාර්තා මධ්‍යයේය.

විදේශ අමාත්‍ය විජිත හේරත් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී පැවැසුවේ, ඉකුත් ජනවාරි 20 වැනිදා වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය රුසියාවේ සටන්කරන මෙරට හමුදා සාමාජිකයන් 554 දෙනෙකුගේ තොරතුරු සටහන් කරගෙන ඇති බවයි.

රුසියානු යුද පෙරමුණේදී මියගිය ලංකා සෙබළු සංඛ්‍යාව 59 ක් බව ද ඔහු එහිදී අනාවරණ කළේය.

විදේශ අමාත්‍යවරයා කියාසිටියේ ඇතැමුන් තම පවුලේ අයට නොදන්වා එලෙස යුද පෙරමුණට එක්වීමට ගොස් ඇති බවත්, බොහෝදෙනා තම සමීපතමයන් සිටින ස්ථානය සොයා අමාත්‍යාංශය අමතන බවයි.

විශ්‍රාමික හමුදා නිලධාරීන් කිසිවකුට විදේශ රටවලට සටන් කිරීමටයෑමට රජය ඉඩ නොතබන බවත්, විදේශ සංචාරවල යෙදෙන්නන් සඳහා නීත්‍යානුකූල හේතූන් මත පමණක් එලෙස සංචාරය කිරීමට අවස්ථාව සැලසීම සඳහා රජය පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.

42.31%
17.27%
32.76%