October 6, 2023

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රාජ්‍ය බැංකු 06ක් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ පෙළගස්වා ඇත්දැයි යනුවෙන් ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියකු විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා ඒ බව අවධාරණය කළේය.

“මම වගකීමෙන් කියනවා, SOE Reforms Unit එකට රාජ්‍ය බැංකු සම්බන්ධ නැහැ. විශේෂයෙන් රාජ්‍ය බැංකු අයිතිය මුදල් අමාත්‍යාංශයට තියෙන්නේ. Regulation එක අපට තියෙන්නේ.

රජයට අයිති මූල්‍ය නොවන ආයතන ප්‍රතිව්‍යූහගතකරණය කරන විදියට බැංකු කරන්න අමාරුයි. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ සඳහා යම් තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍යයි.

අපේ වැඩපිළිවෙල තියෙන්නේ බැංකු පනත සංශෝධනයක් කරන්න ඕනේ. ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ බැංකුවල නියාමනය යම්කිසි ආකාරයට හැමෝටම එක හා සමානව සිදුකිරීම.”