January 26, 2025

ලබන මාර්තු 31 වැනි දින පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් නැවත තේරී පත්වීම සහතික කර ඇති හෙයින්, ඉදිරියට යෑමට පෙර චිත්‍රසිරි කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

විනිවිදභාවය සහ වගවීම නොමැතිකම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව ඇති ක්‍රිකට් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලදී.

මැතිවරණය සඳහා නාමයෝජනා කාලය ජනවාරි 22 වැනි දින අවසන් වූ අතර ෂම්මි සිල්වා සහ ඔහුගේ කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි වාරයක් ලබා ගැනීමට සූදානමින් සිටින්නේ කිසිදු ප්‍රධාන අභියෝගයකින් තොරවයි.

ප්‍රතික්ෂේප කරන ලද එකම නාමයෝජනාව වූයේ ගාලු ක්‍රිකට් සමාජය විසින් සභාපති ධුරය සඳහා ඉදිරිපත් කරන ලද දලීප චාල්ස්ගේ නාමයෝජනාවය.

මේ අතර, මෑත කාලීන ව්‍යවස්ථා සංශෝධනවලින් පසුව ඡන්ද අයිතිය අවලංගු කරන ලද කළුතර භෞතික සංස්කෘතික කවය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිල පැමිණිල්ලක් ගොනු කර ඇත.

චිත්‍රසිරි කමිටුව විසින් කෙටුම්පත් කරන ලද නව ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන තෙක් නිලවරණය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

පසුගිය වසර 15 තුළ විධායක සාමාජිකයන් ලෙස සේවය කළ පුද්ගලයන්ට පමණක් මැතිවරණ සුදුසුකම් සීමා කරන ව්‍යවස්ථාමය සංශෝධනයක් හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට මෙම කණ්ඩායම චෝදනා කරයි.

අභියාචනාධිකරණයේදී චිත්‍රසිරි කමිටුවේ නිර්දේශවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන කැපවීම කඩ කිරීම, විගණකාධිපතිවරයා හරහා මෑත කාලීන මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමට අපොහොසත් වීම සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉස්මතු කරන ලද මූල්‍ය අක්‍රමිකතා චෝදනා ආදිය ඔවුන් චෝදනා ලෙස ඉදිරිපත් කරයි.

2023 නොවැම්බර් 7 දිනැති අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලකගෙන් ලැබුණු ලිපියක් ද පැමිණිල්ලට ඇතුළත් වේ.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලානයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය විගණනයේදී වාර්තා වූ විෂමාචාර සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට අමාත්‍යවරයාට බලය ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එම ලිපියෙන් උපදෙස් දී තිබේ.

මේ සතියේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතාරණ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කරමින්, ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, මැතිවරණයකට යෑමට පෙර චිත්‍රසිරි කමිටුව විසින් යෝජනා කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ අතර, නාමයෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන්, කළුතර භෞතික සංස්කෘතික කවයේ සභාපති අනුර වීරසිංහ සහ සුදර්මන් ප්‍රියකර සිල්වා යනපිරිස විරෝධතා පළ කර තිබේ.

නාමයෝජනා ජනවාරි 17 වැනි දින විවෘත කරන ලද අතර එය 22 වැනි දින අවසන් කරන ලදී.

ඒ අනුව ලැබුණු නාමයෝජනා අවලංගු කර නැවත නාමයෝජනා කැඳවන ලෙස ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

පිළිගත් නාමයෝජනා ලැයිස්තුව වන්නේ සභාපති ධුරය සඳහා ෂම්මි සිල්වා, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩන්වල/උප සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, සමන්ත දොඩන්වල ලේකම් ධුරය සඳහා ක්‍රිශාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්දුල දිසානායක/ සහකාර ලේකම් ධුරය සඳහා ක්‍රිශාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්දුල දිසානායක, නලින් අපොන්සු/ භාණ්ඩාගාරික ධුරය සඳහා සුජීව ගොඩලියද්ද, ලසන්ත වික්‍රමසිංහ/
සහකාර භාණ්ඩාගාරික ධුරය සඳහා සුජීව ගොඩලියද්ද, ලසන්ත වික්‍රමසිංහ යන පිරිසගේ නාමයෝජනායි.

42.31%
17.27%
32.76%