July 17, 2024

ජංගම දුරකථන සිනමා ශාලාවලට ගෙන ඒම තහනම් කරන ලෙස ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ඉල්ලා සිටී.

ඔහු මේ බව සඳහන් කළේ සිය නිර්මාණයක් වන ‘සිංහබාහු’ චිත්‍රපටය නීතිවිරෝධී ලෙස රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

“අනවශ්‍ය තත්ත්වයන් මඟහරවා ගැනීමට අපට කළ හැකි දේ කළ යුතුයි. අපිට කරන්න පුළුවන් ජංගම දුරකථන සිනමා ශාලාවල තහනම් කරන එක. ඕස්ට්‍රේලියාව වැනි රටවල සිනමාහල්වල එහෙම තහනමක් තිබෙනවා. ශ්‍රී ලංකාවට එය අනුගමනය කළ නොහැක්කේ ඇයි කියන එකයි ප්‍රශ්නය,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“මිනිස්සු සිනමා ශාලාවලට යන්නේ චිත්‍රපටයක් රසවිඳින්න. විශේෂයෙන් චිත්‍රපටයක සංවේදී දර්ශනයක් රසවිඳින විට ගෙදර ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න සහ වෙනත් ගැටලු අමතක වෙනවා. දුරකථනයක් නාද වුණාම ඒ මනෝභාවය නැති වී යනවා. කවුරුහරි දුරකථනයෙන් කතා කරනවා ඇසෙන විට අවධානය වෙනතකට යොමු වෙනවා. මේ නිසා තමයි සිනමා ශාලාවලට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කළ යුත්තේ” යැයිද ඔහු පැවසීය.

ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් වන ‘සිංහබාහු’ වීඩියෝ කර යූ ටියුබ් ඔස්සේ මුදාහළ බව කියන 24 හැවිරිදි තරුණයකු ජුනි 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු කටුගස්තොට සීගිරි සිනමාහලේදී ජංගම දුරකථනයක් භාවිතයෙන් රූගත කර ඇති චිත්‍රපටයේ වීඩියෝව යූ ටියුබ් වෙත මුදා හැරීමෙන් අනතුරුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සෝමරත්න දිසානායක ඇතුළු කණ්ඩායමේ පැමිණිල්ලක් අනුවය.

 

42.31%
17.27%
32.76%