August 28, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් තුවක්කු දෙකක් ලබාගෙන නිල කාලය අවසන් වූ පසුවත් ඒවා රඳවා ගැනීමට අවස්ථාව ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණය, මැතිවරණ සමයේ අල්ලස් දීමකට සමාන කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ, ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු එම යෝජනාව පිළිනොගන්නා බවයි.

මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික මුදලින් රිපීටර් ෂොට් ගන් දෙක බැගින් මිලදී ගැනීමටත්, ධුරවලින් ඉවත් වූ පසුවත් ඒවා තබා ගැනීමටත් අවසර දෙන බව අමාත්‍යාංශය පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට දැනුම් දී තිබිණි.

‘ඩේලි මෝර්නිං’ වෙත අදහස් දක්වමින් විජිත හේරත් පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු මිලදී ගැනීමට සහ ඔවුන් ධුරය හැරගිය පසුවත් ඒවා තබා ගැනීමට ඉඩ දීම ‘ඉතා භයානක’ බවයි.

“මෙය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි අවස්ථාවක මන්ත්‍රීවරුන්ට තුවක්කු ළඟ තබාගැනීමට ඉඩදීම විශේෂයෙන් භයානකයි එය මැතිවරණයකට පෙර අල්ලස් දීමක්.” ඔහු පෙන්වාදෙයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකු මෙම යෝජනාව පිළිනොගන්නා බව පැවසූ ඔහු, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රජය විසින් දැනට ලබා දී ඇති පිස්තෝල භාරගැනීම ද ඔවුන් ප්‍රතික්ෂේප කළ බව පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති විජිත හේරත් පවසන්නේ, ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් යුත් අනාගත ආණ්ඩුවක් විසින් මන්ත්‍රීවරුන්ට ආයුධ, වාහන වැනි අනවශ්‍ය වරප්‍රසාද ලබාදීම නතර කරන බවයි.