August 4, 2024

1997 වසරේ දී ගිලී ගිය MV Cordiality නෞකාව ඉවත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැළකිව යුතු පරිසර දූෂණයක් සහ මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් පුල්මුඩේ විවෘත වරායේ මෙහෙයුම් කටයුතු අඩාළ වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.

ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 27,235ක් පටවා තිබූ මෙම යාත්‍රාව 1997 සැප්තැම්බර් 9 වැනිදා මුහුදේ ගිලී ගියේ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙනි.

රාජ්‍ය සංස්ථා සහ සමාගම්වල ආයතනික පාලන ගැටලු ගැන සඳහන් කරමින් මෑතකදී නිකුත් කරන ලද 2021 ඒකාබද්ධ විශේෂ විගණන වාර්තාවේ දැක්වෙන්නේ මෙට්‍රික් ටොන් 7,763ක් බරැති නෞකාවෙන් ආශා ලංකා සමාගම විසින් මෙතෙක් ඉවත් කර ඇත්තේ ලෝහ මෙට්‍රික් ටොන් 3,120ක් පමණක් බවයි.

2021 අගෝස්තු 27 වැනි දින අත්සන් කරන ලද ගිවිසුමකට අනුව 2022 ඔක්තෝබර් 30 වන විට ඉතිරි සුන්බුන් ආශා ලංකා සමාගම විසින් ඉවත් කිරීමට නියමිත විය.

පසුගිය වසර අට තුළ වැලි මෙට්‍රික් ටොන් 14,202ක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, නෞකාවේ ඉතිරි කොටස ඉවත් කිරීමේ වගකීම සමාගම විසින් ඉටු කර නොමැති බව විගණන වාර්තාවේ දැක්වේ.

විගණන කාර්යාලය විසින් අවධාරණය කරන ලද පරිදි, දිගින් දිගටම සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් කලාපයට අඛණ්ඩ පාරිසරික හානියක් සහ මූල්‍ය පීඩාවක් ඇති වී ඇති අතර මෙහෙයුම් අවසන් කිරීමට සහ තවදුරටත් හානිය අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.

මේ අතර නෞකාවේ තෙල් ඉතිරි වී ඇති ඇත්නම් එය පරිසරයට හානිදායක බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ.

 

42.31%
17.27%
32.76%