July 1, 2023

නව පොලිස්පතිවරයකු මෙතෙක් නම් නොකිරීම හේතුවෙන්, පොලිස්පතිධූරය සඳහා වන තරගය වඩාත් තීව්‍රවී තිබේ.

මේ වන විට අලුතින් පත්කෙරෙන පොලිස්පතිවරයා කවර ආකාරයේ පුද්ගලයකු විය යුතුද යන්න සම්බන්ධයෙන් ආගමික නායකයන් සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පටන්ගෙන ඇත.

මෙම අදහස් දැක්වීම ආරම්භවූයේ කාදිනල් හිමියන් විසින් නව පොලිස්පතිවරයා ලෙස චෝදනා එල්ලවී නොමැති පුද්ගලයකු පත්කළ යුතු බවට අදහස් දැක්වීමත් සමගිනි.

කාදිනල් හිමියන් එහිදී පෙන්වාදී තිබුණේ පසුගිය වකවානුවේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා චෝදනා ලැබූ පොලිසියේ ඉහළ නිලධාරීන් පොලිස්පති තරගයේ ඉදිරියෙන් සිටින බැවින්, එම ධූරයට නිලධාරියකු නම්කිරිමේදී ජනාධිපතිවරයා වඩාත් සැළකිලිමත් වියයුතු බවයි.

කාදිනල්තුමන්ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි ඉදිරිපත්ව ඇත.

උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, පොලිස්පතිධූරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

පොලිස්පතිධූරයට නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය අදාළ ධූරයට පත්නොකරන ලෙස කාදිනල්තුමා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ, ඒ සඳහා නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද අවධාරණය කර ඇත.

මේ අතර රාමඤ්ඤ නිකායේ අනුනායක ගැටඹේ රාජෝවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද පොලිස්පතිධූරයට නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ පෙන්වාදී ඇත්තේ, චෝදනාවලින් තොර, රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පතිධූරයට පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවයි.

ර⁣ටේ නීතිය හා සාමය සුරකින පොලිසිය මේ වනවිට අරාජික තත්වයක් පෙන්නුම් කරන අතර, එය නරක පූර්වාදර්ශයක් බවද අනුනාහිමියෝ පෙන්වා දෙති.

පසුගිය කාලය පුරා පොලිසියට විවිධ චෝදනා එල්ලවූ බවත්, පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බවත් ,අනුනාහිමියෝ සඳහන් කරති.

“මේ නිසා මොන බලපෑම් ආවත් පොලිස්පතිධූරයට ⁣චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතුයි. මෙම උසස් තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතුයි. එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වූ අවස්ථාද ති⁣බෙනවා. මේ නිසා කාටත් පිළිගත හැකි නිලධාරියකු වහාම පත්කළ යුතුයි. එසේ නොමැතිව තවදුරටත් මේ තනතුර හිස්ව තැබිම නරක පූර්වාදර්ශයක්” යැයි අනුනායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරති.

මේ අතර පොලිස්පතිධූරය අපේක්ෂාවෙන් පසුවන ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුදල් ගෙවා මෙන්ම සිය හිතවාදීන් හරහාද සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.