April 17, 2025

ඊයේ බණ්ඩාරගම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑමත් සමඟ ප්‍රාදේශීය රෝහලේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.

බණ්ඩාරගම-කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී තවත් යතුරුපැදියක ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ගෙන එන ලදී.

රෝහල් ප්‍රකාශකයකුට අනුව, යතුරුපැදිකරු මූලික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

කෙසේවෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් ට්‍රොලියක තබා තිබූ ඔහුගේ දේහය ලොරි රථයකින් පානදුර මූලික රෝහලට ප්‍රවාහනය කර ඇත.

ඒ අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයට පහර දී රෝහලේ වීදුරු දොරවල් කඩාදමා අනෙකුත් දේපළවලට හානිකර, මළසිරුර ට්‍රොලිය මත තබාගෙන පානදුර රෝහලට පිටත්ව ගොස් ඇත.

අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා ඇති අතර දැනට බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.