November 4, 2023

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවය තුළ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සීමාසහිත සමාගම රුපියල් බිලියන 28.5 ක ආදායමක් උපයා තිබේ.

එය 2022 එම කාලය හා සසඳන විට 57%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සීමාසහිත සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි පැවසුවේ මෙම මාසවල මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 15.9ක් උපයා ඇති බවයි.

සමාගමේ මෙම සුවිශේෂී ජයග්‍රහණයට හේතු වී ඇත්තේ එහි කඩිසර නායකත්වය සහ සියලුම සේවකයන්ගේ විශාල කැපවීම බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයන්ට ආදර්ශයක් දෙමින් ආයතනය ලාභදායී ලෙස පවත්වාගෙන යෑම සඳහා සමාගමේ කැපවීම මෙයින් පෙන්නුම් කර ඇති බවද ඔහු පැවසීය.

“උපායමාර්ගික මූල්‍ය පාලනය සහ වියදම් කළමනාකරණය අනුගමනය කරමින් කාලීන සැලසුම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සභාපතිවරයා ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයේ කඩිසර සහ උපායශීලී නායකත්වය මෙහි මූල්‍ය සාර්ථකත්වයට ඉමහත් දායකත්වයක් ලබාදී තිබෙනවා. අපි 2023 වසරේ ශ්‍රී ලංකා රජයට ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 05ක් ගෙවා තිබෙනවා. ඉතා ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායයක් ලෙස අපගේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්වා, ගුවන් සේවා කර්මාන්තයේ අභියෝග සහ අවශ්‍යතා සපුරාලීමට ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අනාගත ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරමින් ජාතික වගකීම ඉටු කර තිබෙනවා ” යැයිද සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සීමාසහිත සමාගම 2023, සැප්තැම්බර් 30 දක්වා, ගුවන් ගමන් 33,950ක් සමඟින් කැපීපෙනෙන මෙහෙයුම් දාමයක් සිදුකර ඇති අතර, ගුවන් සේවා කර්මාන්තයේ සිය ප්‍රධාන භූමිකාව යළිත් තහවුරු කිරීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගීන් 5,523,893ක් පිළිගෙන ඇත්තේ කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණීමට ආසන්න වෙමිනි.

එය සිය සමාගමේ සේවාවන් කෙරෙහි සංචාරකයින් තුළ ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියක් බව පාලාධිකාරිය පවසයි.

කැපීපෙනෙන ලෙස භාණ්ඩ මෙට්‍රික් ටොන් 117,117ක් හසුරුවමින් සමාගම වෙළඳාමට පහසුකම් සැලසූ අතර ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳපොළටද සම්බන්ධ කළේය.

තවද, 1,442,411ක් වන නරඹන්නන් පිරිසක්ද ගුවන් තොටුපළට මෙම කාලය තුළ පැමිණ ඇති අතර, 2023 සැප්තැම්බර් මාසය දක්වා වූ මෙම ආකර්ෂණීය සංඛ්‍යා, සමාගමේ ඔරොත්තු දීමේ හැකියාව, විශිෂ්ටත්වය සහ ගුවන් සේවා අංශයට ඇති කැපීපෙනෙන දායකත්වය පෙන්වාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.