July 31, 2023

සිංගප්පූරුව පදනම් කරගත් ‘ගෝ බන්චි’ (Go Bungy) නම් සමාගම කොළඹ නෙළුම් කුළුණ සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඒ අනුව වාර්ෂිකව ‘බන්චි පිම්ම’ (Bungee Jumping) පැනීම සඳහා 10,000 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරයි.

බන්චි කණ්ඩායමක් ගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, අගෝස්තු මාසය වන විට මෙම ක්‍රීඩාව ආරම්භ කිරීමට අදහස් කළද, අහස් බෑවුම අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බැවින් එය කල්දැමීමට සිදු වූ බවත්, මෙම වසර අවසානයේ එය ආරම්භ කිරීමට නියමිත බවත්, නෙළුම් කුළුණ කළමණාකරණ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරයි.

Go Bungy සමඟ ගිවිසුම් අත්සන් කර ඇති Bungee Japan, Bungee Nepal, Bungee Canada ඇතුළු ලොව පුරා මෙම පිම්ම පැනීමේ කණ්ඩායම්වල සාමාජිකයන් (jumpers) 50,000 ක් පමණ සිටින බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර, නෙළුම් කුළුණ “විනෝදාස්වාදය සඳහා කේන්ද්‍රස්ථානයක්” බවට පත් කිරීමේ අරමුණින් ඔක්තෝබර් මාසය වන විට එහි ඇති කැරකෙන අවන්හල, පබ් සහ බාර් විවෘත කිරීමට අපේක්ෂා කරයි.

දේශීය හා අන්තර්ජාතික වශයෙන් වැඩි ආකර්ෂණයක් ලබාගැනීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කිරීම සහ අලෙවිසැල් සංඛ්‍යාව පුළුල් කිරීමේ ක්‍රියාවලියක ද නෙළුම් කුළුණ යෙදී සිටී.

මේ වනවිට දිනකට විදේශිකයන් 150ක් පමණ කුළුණ නැරඹීමට පැමිණෙන අතර, පසුගිය ජූලි 27 වැනිදා වන විට එය නැරඹීම සඳහා පැමිණි දේශීය හා විදේශීය අමුත්තන්ගේ සංඛ්‍යාව මිලියන 01ක් ලෙස සටහන්ව තිබේ.

නෙළුම් කුළුණ විනෝදාස්වාද අංශය සඳහා අන්තර්ජාතික ලංසුකරුවන් කැඳවා ඇති අතර, ඒ අනුව, ඉන්දියානු, සිංගප්පූරු සහ චීන සමාගම් වෙතින් කැමැත්ත පළකිරීම් ලැබී ඇති බවත්, මේ වනවිට ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවත්, කළමණාකරණ ප්‍රධානීවරයා සඳහන් කරයි.

එමෙන්ම, නෙළුම් කුළුණේ වත්මන් සංවර්ධන කටයුතු සහ කළමනාකරණය සඳහා මුදල් යොදවා ඇත්තේ නෙළුම් කුළුණ විසින්ම උපයාගත් මුදල් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.