November 18, 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට තමන් විසින්ම තමාව පත්කරගත් බව කියන හිටපු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව ගතහැකි විනය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අද පස්වරු 5.00 ට කඩිමුඩියේ රැස්ව ඇතැයි වාර්තා වේ.

ආරංචි මාර්ග පවසන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් එම පක්ෂයට හිමිව ඇති අතර ඉන් එක් ආසනයක් එජාපයටත් අනෙක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද ලබාදීමට සැලසුම් කර ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් පාර්ලිමේන්තුවට පිවිසෙන පුද්ගලයන් නම්කිරීම සඳහා එම පක්ෂය හෙට (19) රැස්වීමට මුලින් නියමිතව තිබිණි.

කෙසේවෙතත්, එජාප ජ්‍යෙෂ්ඨයන් චෝදනා කරන්නේ, එක්සත් ජාතික පක්ෂයේ අනුමැතියකින් තොරව රවී කරුණානායක ජාතික ලැයිස්තුවට නම්කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇති බවයි.

මෙම සිද්ධිය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් පසුව, එජාප සාමාජිකයන් රවී කරුණානායකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහට බලපෑම් කර ඇත.

මේ හේතුවෙන්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සවස රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

42.31%
17.27%
32.76%