February 23, 2025

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති 2025 අයවැය තුළ නව නිර්මාණශීලි යෝජනා පවතින බව දැකගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කරන ලද්දේ, මෙය ජේ. ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ වකවානුවේ ආරම්භ කළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දිගුවක් පමණක් බවයි.

හෙතෙම එහිදී මෙසේද සඳහන් කළේය;

“අපි ක්‍රියාත්මක කළ පිළිවෙතම අනුගමනය කිරීම නිසා අපට කියන්න බැහැ මේ අයවැය තුළ නිර්මාණාත්මක දෙයක් තියෙනවා කියලා. අපේ ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල දිගුවක් විදිහටයි මම මෙම අයවැය දකින්නේ. ඒත්, මම මේ අවස්ථාවේ දකින්නේ රටේ ආර්ථිකය ලොකු වෙනස්කම්වලට භාජනය නොකර කටයුතු කිරීම හොඳ දෙයක් කියලා. එය රටට සුබදායක දෙයක් විදිහටයි මම විශ්වාස කරනවා.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව විසින් ආරම්භ කළ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීමත් ඒ ක්‍රියාමාර්ග සහ පිළිවෙත් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක්, අනෙක රට ආර්ථික අර්බුදයක් වෙත මුහුණදී නැවත ස්ථාවර වෙමින් සිටින මොහොතක හදිසි වෙනස්කම් අත්හදා බැලීම් කිරීමට වඩා පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යාම රටට හොඳ දෙයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

මේ අවස්ථාවේදී අපි අවධානයෙන් බැලිය යුත්තේ, අපේ රටේ ආර්ථිකය ස්ථාවර ලෙස ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන කාරුණයි. ඒ ස්ථාවරත්වය ඇති කරද්දී අපේ පක්ෂය මොකක්ද අපි නිල්ද කොළද රතුද කියන භේදයෙන් නොවෙයි වැඩ කළ යුත්තේ.”