June 20, 2024

මී උණ ලෙස හඳුන්වන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය සැළකිව යුතු වැඩි වීමේ ප්‍රවණතාවක් මෙරට සෞඛ්‍ය නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ උපදේශිකා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තුෂානි දාබරේරා පැවසුවේ, මෙම රෝගය ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ වී වගාව, ගව ගොවිතැන සහ මැණික් ගැරීම වැනි අවදානම් සහිත වෘත්තීන්හි යෙදෙන පිරිමින්ට බවට පෙර පැවති අවබෝධය මෙම නිරීක්‍ෂණය මගින් අභියෝගයට ලක් කරන බවයි.

කෙසේවෙතත්, කාන්තාවන් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් වසර ගණනාවක් පුරා නිරීක්ෂණය කර ඇති බවද ඇය තවදුරටත් පැවසුවාය.

වෛද්‍ය තුෂානි දාබරේරා පවසන පරිදි, පසුගිය වසරේ රෝගීන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මේ වසරේ දැනටමත් රෝගීන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මොණරාගල සහ කුරුණෑගල වැනි ප්‍රදේශවලිනි.

ලෙප්ටොස්පයිරෝසිස් යනු ආසාදිත සතුන්ගේ, විශේෂයෙන් මීයන්ගේ මුත්‍රාවලින් දූෂිත වූ ජලය හරහා සම්ප්‍රේෂණය වන බැක්ටීරියා ආසාදනයකි.

අධික වර්ෂාපතනයෙන් පසු ආසාදන අවදානම වැඩි වන අතර එමඟින් ජල මූලාශ්‍ර දූෂිත වීමේ සම්භාවිතාව වැඩි වේ.

මෙම රෝගය මාංශ පේශි වේදනාව, සෙංගමාලය, කැස්ස, හුස්ම හිරවීම ඇතුළු රෝග ලක්ෂණවලින් යුතු වන අතර දරුණු අවස්ථාවල දී වකුගඩු, හෘදය හෝ ශ්වසන අකර්මණ්‍යතාවට හේතු විය හැක.

පූර්ව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර මගින් ප්‍රතිඵල සැළකිව යුතු ලෙස පාලනය කරන බැවින්, රෝග ලක්ෂණ අත්විඳින වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත්කම වෛද්‍ය දාබරේරා අවධාරණය කළාය.

හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම, දූෂිත විය හැකි ජලය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටීම සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සහතික කිරීම වැනි වැළැක්වීමේ පියවර රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා විශේෂයෙන් වැදගත් වේ.

ලෙප්ටොස්පයිරෝසිස් රෝගයට හේතු වන බැක්ටීරියාවලට නිරාවරණය වීම අවම කිරීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගැනීම සඳහා විශේෂයෙන් කෘෂිකර්මාන්තය, මැණික් ගැරීම සහ මලාපවහන කටයුතු වැනි ඉහළ අවදානම් වෘත්තීන්වල නියැලී සිටින ජනතාව අතර දැනුවත් කිරීම් සිදුකරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

42.31%
17.27%
32.76%