February 4, 2025

පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ The Sunday Times පුවත්පතට පවසා ඇත්තේ, තමන් පෞද්ගලිකව පළාත් ලේකම්වරුන්, ඉඩම් කොමසාරිස්වරුන් සහ බිම් මට්ටමේ නිලධාරීන් ඇතුළු විශේෂඥයින්ගෙන් මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාචිකව සහ ලිඛිතව උපදෙස් ලබාගත් බවයි.

ඔවුන්ගේ උපදෙස් අනුව පෙනීයන්නේ, මෙම ‘උරුමය’ ජාතික වැඩසටහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ ඔස්සේ අනාගතයේදී ඉඩම් සම්බන්ධ ගැටළු කෙරෙහි සැලකිය යුතු දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බැවින් එම ක්‍රියාවලිය අත්හිටුවීම වඩාත් සුදුසු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

“ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් ද මෙම ඔප්පු ලබාදීමේ ක්‍රමය සුදුසු නොවන බවට අදහස් පළකළා. මීට පෙර සිදුකළ පරිදි කල්පිරීමේ ක්‍රියාවලියක් සමඟ කොන්දේසි සහිත ඔප්පු ක්‍රමය දිගටම කරගෙන යෑමට ඔවුන් නිර්දේශ කළා,” ඔහු පවසයි.

පසුගිය ආණ්ඩුව යටතේ ‘උරුමය’ වැඩසටහන මෙරට ප්‍රධාන වැඩසටහනක් ලෙස ආරම්භ කරනු ලැබීය.

එහිදී අරමුණු කෙරුණේ පුද්ගලයන් මිලියන දෙකකට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම සහ පුද්ගලයන් 50,000 කට ඔවුන්ගේ නිවාසවල පූර්ණ අයිතිය ලබාදීම‍යි.

මෙම වැඩසටහන යටතේ කිසිදු කොන්දේසියකින් තොරව ඉඩම් ලබාදෙමින් සින්නක්කර ඔප්පු නිකුත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පැහැදිළි කර ඇත.

මෙම වැඩපිළිවෙල තුළ පවතින අවදානම පිළිබඳ පෙන්වාදෙමින් ඔහු පවසා ඇත්තේ, මෙරට කුඹුරු ඉඩම් අවම බෙදීමේ සීමාවක් ඇති බැවින් වාරිමාර්ග ගැටළු හේතුවෙන් අක්කරයකට වඩා කුඩා බිම් කැබලිවලට බෙදිය නොහැකි බවයි.

කෙසේවෙතත්, මෙම වැඩසටහන හරහා නිකුත් කරන ලද සින්නක්කර ඔප්පු මගින් රටේ කුඹුරුවලට තර්ජනයක් වෙමින් එම සීමාව ඉවත්කර ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

“මීට අමතරව, මෙම කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු සමඟ, ඔප්පු හිමියාට ඉඩම පිළිබඳ පූර්ණ පාලනය ඇති අතර පවුලේ සාමාජිකයන්ගෙන් උපදෙස් නොගෙන එය විකිණීමට හැකියි. තවත් අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ නිශ්චිත ප්‍රදේශයක ඉඩමක් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට තනි ඔප්පු හිමිකරුවන්ගෙන් නිදහසේ ඉඩම් මිලදීගත හැකි අතර එමඟින් කලාපයේ විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගත හැකි වීමයි.”

මෙය ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට බලපෑ හැකි අතර ඉඩම් බෙදීමේ ස්ථාපිත ක්‍රමවේදය කඩාකප්පල් කළ හැකි බව ද ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ පෙන්වාදෙයි.

“මේ යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන අපි දැනටමත් අලුතින් පත් වූ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර විද්වත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා. මෙම කමිටුව විසින් ගැටලුව ඇගයීමට ලක්කර වඩාත් සුදුසු ප්‍රවේශය කොන්දේසි සහිත ඔප්පුව ද කොන්දේසි විරහිත ඔප්පුව ද යන්න තීරණය කරයි. ඔවුන්ගේ සොයාගැනීම් මත උරුමය වැඩසටහන ඉදිරියට ගෙන යනවාද නැතිනම් කලින් තිබූ කොන්දේසි සහිත ඔප්පුව දිගටම පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව රජය අවසන් තීරණයක් ගන්නවා” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

“කෙසේවෙතත්, ජනතාව තම ඉඩම් සඳහා ඔප්පු ලබාගැනීම ගැන උනන්දුයි. ඉඩම් වාර්තා ඩිජිටල්කරණය කරන අතරම එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නේ. මීට අමතරව, සින්නක්කර ඔප්පු ගැටළු සඳහා අපි ඉක්මණින් විසඳුමක් ලබාදෙනවා. දැනටමත් ලියාපදිංචි කර ඇති සියලුම ඔප්පු විද්වත් කමිටුවේ තීරණයට අනුව නිකුත් කරනු ලබන අතර, බොහෝ අවස්ථාවලදී උරුමය වැඩසටහන හරහා නොව පෙර යෝජනා ක්‍රමය යටතේ ඉඩම් හිමියන්ට ඔප්පු ලැබෙනවා” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%