July 21, 2024

දේශපාලනය යනු මැතිවරණයකදී හොඳම මුහුණ කාගේද යන්න විමසා ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොව තමන්ගේ අනාගතය සහ තමන්ගේ මුහුණ හොඳද යන්න විමසා බලා ගත යුතු පියවරක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) කුරුණෑගල විගමනික ‘ශ්‍රමික හරසර’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අවධාරණය කළේය.

“අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න බැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු දෙන එක නෙමෙයි. දේශපාලනය කියන්නේ කාගෙ මූණද වඩා හොඳ කියලා ඡන්දෙ දෙන එක නෙවෙයි. දේශපාලනය කියන්නේ තමන්ගේ මූණ කොහොමද හොඳ වෙන්නේ කියලා ඡන්දෙ දෙන එක. දේශපාලනය කියන්නේ තමන්ගේ අනාගතය කොහොමද කියල බලල ඡන්දෙ දෙන එක. මෙවැනි අලුත් ක්‍රමයකට අපි යන්න ඕන.” යැයි ජනාධිපතිවරයා සභාව අමතමින් එහිදී අවධාරණය කළේය.

විගමනික ශ්‍රමික සහ එම පවුල්වල සාමාජිකයින් ලක්ෂයක් සම්බන්ධ කරගනිමින් ව්‍යවසායකත්වය වෙනුවෙන් රුපියල් පනස්දහසේ සිට රුපියල් මිලියනය දක්වා මූල්‍යාධාර ලබා දෙන ක්‍රියාවලියක් ලෙස ‘විගමනික ශ්‍රමික හරසර’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් මූල්‍ය ප්‍රදාන ලබා දීම සිදු කෙරෙන අතර කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගනයේදී පැවැත්වුණ මෙම සමාරම්භක වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ලංකාවේ දේශපාලනය තුළ කිසිවෙකුත් ඇත්ත නොකියූ බවත් රට ණය වෙමින් ඉදිරියට ගෙන යෑම කිසිසේත්ම කළ නොහැකි බවත්ය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද මේ විශේෂ උත්සවයෙන් මේ රටට විදේශ විනිමය උපයලා ලංකාවට පැමිණි ඔබට යළි අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට ආණ්ඩුවෙන් අත දෙනවා. මේ තෑග්ගක් නෙවෙයි. පිනට දෙන එකක් නෙවෙයි. ඔබේ සේවය නිසා ඔබ ලබාගත්ත අයිතියක්. ඒකයි අපි මෙතනින් ලබලා දෙන්නේ. රට ගිහින් පිටරට වාතාවරණයෙන් ප්‍රයෝජනයක් ලබාගෙන ලංකාවට ආවම සමහරු අකමැතියි තමන්ගේ පරණ රැකියාවේම යෙදෙන්න. ඔවුන් බලනවා අපිට පුළුවන්ද මේකෙන් ඉදිරියටම යන්න කියලා. අන්න එහෙම කැපවීමක්, ශක්තියක් තියෙන අයට අත දෙන්න තමයි මේ වැඩසටහන තියෙන්නේ. ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජන අරගන්න. විශේෂයෙන්ම මේක ඇති කළේ තමන් රට ගිහින් රටට සේවය කරපු නිසා. දෙවෙනි කාරණය අමාරු කාලයේ රටට සල්ලි ටික එවපු නිසා. සල්ලි ටික එව්වේ නැත්නම් අපිට මොකක්ද වෙන්නේ කියලා මට කියන්න බැරි වෙනවා. මම භාරගත්තේ අමාරුම රටක්. තෙල්, ඩොලර්, පෝර නැති අනාගතයක් නැති රටක්. මේක ගෙනියන්න පළවෙනි මාස කීපය තුළ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඔබ මුදල් එව්වෙ නැත්නම් මම දන්නෙ නෑ මොකක්ද වෙන්නේ කියලා. ලෝක බැංකුවයි සමන්තා පවර් මැතිනියයි පොහොර දුන්නෙ නැත්නම් හරි අමාරුවක වැටෙන්නේ. ඔබේ මුදල්වලින් අමාරුවෙන් මේක ගෙනිච්චා. කොහොම හරි ලෝක බැංකුවෙනුත් මුදල් ටිකක් ඉල්ලගත්තා. දෙවනුව පොහොර ලැබුණ නිසා නිසා 2022, 2023 යල කන්නේ වගා කරන්න කිව්වා. යල කන්නෙ හරි ගිහින් ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. එන මුදල් වැඩි වී සංචාරකයින් වැඩි වුණා. අපි ඉදිරියට ගියා. ඒකයි සිදු වුණේ. මේ දුන්න මුදල්වල වටිනාකම කියන්න අලුතෙන් ඕන නෑ. දුන්න හැම ඩොලරයකම ඩොලර් දෙකක වටිනාකම තිබුණා. ඒකට මම සියලු දෙනාටම ස්තුති කරන්නට ඕනෑ. ඔබ ගත්ත උත්සාහය නිසා තමයි අද අපි මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ.”

42.31%
17.27%
32.76%