42.31%
17.27%
32.76%
September 25, 2023

එඩිතර සහ දේශප්‍රේමී රජවරයකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශතවර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙන බවත්, සටන් දිනූ අය පසෙකලා සටන් පැරදුණු අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතාබැලිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවැති “සීතාවක – සිසු ඇරුණලු” වැඩසටහනට එක්වෙමිනි.

මෙම සියලූ පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මගින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් උපකරණ පිළිගැන්විම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවත් සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සීතාවක රාජධානිය සහ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කරුණු ලියා එවන ලෙස මෙහිදී ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා එහි හොඳම නිර්මාණයට තිළිණයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

”අද මෙතන රාජසිංහ රජතුමා ගැන කවි පෙළක් කියවුණා. රාජසිංහ රජතුමා එදා නොසිටියා නම් අද ශ්‍රී ලංකාව මොසැම්බික් රාජ්‍යයක් හෝ ඇංගෝලාවක් බවට පත්වෙලා.

රාජසිංහ රජතුමා තමයි දකුණු ආසියාවේම පෘතුගීසින් පරාජයට පත් කළ එකම රජතුමා.

එසේ නම් සීතාවක රාජධානිය නිසා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වුණා. ඉදිරි පරම්පරාවටත් එම දැනුම ලබා දීමට සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදි කිරීමට මම අදහස් කර තිබෙනවා.

සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීමට ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසළකා හැර තිබෙනවා.අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි කියා මම සිතනවා.

විශේෂයෙන්ම සීතාවක පුරාවිද්‍යා වටිනාකම් පිළිබිඹු කිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලෙස මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. මොකද තව වසර කිහිපයක් යන විට මෙය නගරයක් බවට පත් වෙනවා. කෝට්ටේ නගරයට වූ දේ සීතාවකටත් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඊට පෙර අප මෙම වැඩකටයුතු ආරම්භ කළයුතුයි.”

42.31%
17.27%
32.76%