March 21, 2025

2055 වන විට ශ්‍රී ලංකාව ඩොලර් ට්‍රිලියන 1ක ආර්ථිකයක් ඉලක්ක කරගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉදිරි වසර 30 තුළ ආර්ථිකය දස ගුණයකින් වර්ධනයවීමට අවශ්‍ය වනු ඇති බවයි.

විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ආසියාවේ නැඟී එන ගෝලීය බලපෑමට එම ඉලක්කය සම්බන්ධ කළ රනිල් වික්‍රමසිංහ, ඉන්දියාව එම කාලසීමාව සඳහා සංසන්දනාත්මක ඉලක්කයක් තබා ඇති බව පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාව පවතින දුර්වල තත්ත්වයෙන් ගොඩගැනීමට නම් ඉන්දියාව සමඟ ආර්ථික ඒකාබද්ධතාවයේ වැදගත්කම ද හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

2022 සිට 2024 දක්වා ඔහුව ජනාධිපතිවරයාව සිටි කාලය තුළ ඔහුගේ පරිපාලනය දකුණු ඉන්දියාව කෙරෙහි අවධානය යොමුකරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සහයෝගීතාව ගවේෂණය කළ බව ද පැවසුවේය.

දිගුකාලීන වර්ධනය සඳහා එවැනි හවුල්කාරිත්වයන් ඉතා වැදගත් බව ද ඔහු එහිදී පෙන්වාදුන්නේය.

මන්නාරමේ Adani සමූහ ව්‍යාපාරය සමග යෝජනා කර තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නැවැත්වීම සම්බන්ධයෙන් ද
රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විවේචනය කළේය.

ඔහුගේ පාලන සමයේදී එකඟ වූ එම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ පාර්ශවකරුවන් සහ ඉන්දියානු ආයෝජකයන් සම්බන්ධ විය.

එය නැවත අත්හිටුවීම අනාගත මහාපරිමාණ ආයෝජන අධෛර්යමත් කළ හැකි බව ද රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාර්යභාරය ගැන අදහස් පළකළ රනිල් වික්‍රමසිංහ පැවසුවේ, ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම IMF සහතිකය මත රඳා පවතින බවයි.

අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම වැඩසටහන අත්හැර දැමීම තවදුරටත් ආර්ථික දුෂ්කරතාවලට තුඩු දිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.