September 7, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදෙන, ආණ්ඩු පාර්ශ්වය නාමිකව පමණක් නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දන්වමින් ‘ලංකාදීපය’ වාර්තා කර ඇත.

ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරු රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයාට හිතවාදී පිරිස් එහිදී දැනුම් දී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක මොහොතක මන්ත්‍රීවරුන් නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීම පලක් නොවන බවයි.

ඔවුන් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවද හිතවාදීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන අවස්ථාව සලසන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වෙයි.

එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිපදෙනකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා ඇත්තේ තමන් ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව දෙන ලෙසත්ය.