August 7, 2023

මෙරට දේශපාලන කඳවුරු දෙක මේ වනවිට තීරණාත්මක ලෙස බෙදී අවසන් බවත්, දැන් තිබෙන්නේ පළමුවැනියා සහ දෙවැනියා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තීරණය කරන සටන බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් පැවසීය.

අද වනවිට මෙරට ප්‍රථම වතාවට කේන්ද්‍ර දෙකක් ගොඩනැගී ඇති බවත්, රනිල්, මහින්ද, සජිත් එක කේන්ද්‍රයක් සහ මහජනතාව, ඇතුළු ජාතික ජන බලවේගය තව කේන්ද්‍රයක් බවත්, ඔහු සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන සමුළුව අමතමින් ඊයේ (06) ඔහු මෙසේ සඳහන් කළේය.

“මේ දෙගොල්ලෝ පාටවලින් විතරයි වෙනස්. දේශපාලනයේදී මේගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක්. ක්‍රියාවන්ගෙන්, ප්‍රතිපත්තිවලින් සමානයි. වෙනසක් බලාපොරොත්තුවෙන් රනිල් වෙනුවට මහින්ද හෝ මහින්ද වෙනුවට රනිල් හෝ බලයට පත්කිරීමෙන් පලක් නැහැ. ඒගොල්ලෝ දෙකක් නොවෙයි, එකක්. විකුණපු හම්බන්තොට වරාය පවරගන්න, පාස්කු ප්‍රහාරකයාට දඩුවම් දෙන්න, මහ බැංකු හොරා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න, ගෝඨාභය බලයට පත්කරනවා. නමුත් ගෝඨාභය ගෙදර ගිහින් ඒ ඡන්දයෙන්ම රනිල් ජනාධිපතිවෙලා. මෙහෙම වෙන්නේ කොහොමද? මේ සියල්ලෙන්ම පෙන්වන්නේ දේශපාලනයේදී, ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක් බවයි.

නිමල් සිරිපාල 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේත් ඇමති. 2005 මහින්දගේ ආණ්ඩුවේ ඇමති. 2015දි රනිල්-මෛත්‍රී ආණ්ඩුවේත් ඇමති. 2019දි ගෝඨාභයගේ ආණ්ඩුවේත් ඇමති. 2023 රනිල්ගේ ආණ්ඩුවේත් ඇමති. වෙනස් වෙන්නේ නැහැ. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්දගේ ආණ්ඩුවේ, රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ, ගෝඨාභයගේ ආණ්ඩුවේ, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තමුන්නාන්සේලා වෙනස් කරනවා. නමුත් එයාලා හැමදාම බලයේ ඉන්නවා. නමුත් දැන් ජනතාව ඇත්ත වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අද ලංකාවේ පළමු වතාවට කේන්ද්‍ර දෙකක් ගොඩනැගී තිබෙනවා. රනිල්, මහින්ද, සජිත් කේන්ද්‍ර කරගත් එක කේන්ද්‍රයක් සහ මහජනතාව කේන්ද්‍රකරගත් ජාතික ජන බලවේගය තව කේන්ද්‍රයක්. ප්‍රධාන දේශපාලන බෙදීම සිදුවී අවසන්. දැන් ඉදිරියේ තිබෙන්නේ එක වෙන්නේ කවුද? දෙක වෙන්නේ කවුද කියන එකයි. ඊයේ පෙරේදා නිකවැරටියේ සමුපකාර චන්දයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන එන්.පී.පී. එක ජයග්‍රහණය කර තිබෙනවා. නියෝජිතයෝ සියයෙන් 71ක් මාලිමාවට. ස්වාධීන කණ්ඩායමට 20යි පොහොට්ටුවට 9යි. අනෙක් පක්ෂ සියල්ලම එකතු වුණත් වැඩි බලය තිබෙන්නේ එන්.පී.පී. එකට. මේ ප්‍රතිඵලයෙන් ජන මනස ක්‍රියාකර තිබෙන ආකාරය අපට තේරුම් ගත හැකියි.

නමුත් අපි දන්නවා මේගොල්ලෝ ලේසියෙන් බලය අත්හරින්නේ නෑ. ඒගොල්ලෝ පරම්පරා ගාණකට දේශපාලන සිතියම එළලා තිබෙන්නේ. ඒක රැකගන්න කළ හැකි සියලුම දේ කරනවා. රනිල් බලාගෙන ඉන්නවා එයාගේ මස්සිනා රුවන් විජේවර්ධනට බලය ලබාදෙන්න. මහින්ද නාමල්ට බලය ලබාගන්න උත්සාහ ගන්නවා. ජාතික වශයෙන් වගේම ප්‍රාදේශීය වශයෙනුත් ඒ ගොල්ලෝ පවුල් සිතියම එළලා තිබෙනවා. එන්.පී.පී. බලයට ආවොත් පරම්පරා ගණනකට එලා තිබෙන බල සිතියම එතනින් අවසන් වෙනවා.”