March 24, 2025

ශ්‍රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර තිබේ.

එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් අදානි (Adani) ව්‍යාපෘතිය ඇණහිටීම හේතුවෙන් රටේ ආර්ථික ප්‍රකෘතියට විශාල පසුබෑමක් සිදුවනු ඇති බවයි.

“අදානි ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වනවා. එය විහිළුවක් නෙමෙයි. අපට යථා තත්ත්වයට පත් වීමට එම මුදල් අවශ්‍යයි,” යනුවෙන් පැවසූ රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, ත්‍රිකුණාමලයේ අතිරේක සංවර්ධන ව්‍යාපෘති මගින් තවත් ඩොලර් මිලියන 400-500ක් පමණ ගෙන ඒමට හැකිව තිබූ බවයි.

“නිකමට සිතන්න – ඩොලර් බිලියනයකට වඩා වැඩි ආයෝජන නතර කරලා තිබෙනවා” යනුවෙන් දෙරණ නාලිකාවේ විකාශය වූ ‘@Hydepark’ වැඩසටහන සමග එක්වෙමින් පැවසූ රනිල් වික්‍රමසිංහ, වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන අවිනිශ්චිත ස්ථාවරය පිළිබඳව, විශේෂයෙන්ම 2023 ඉන්දු-ශ්‍රී ලංකා දැක්ම ලේඛනය යටතේ සිය කැපවීම් සම්බන්ධයෙන් කලකිරීමක් පවතින බවයි.

“මට මෑතකදී මුණගැසුණා බොහෝ ඉන්දියානුවන්, එය මට ලැජ්ජාවක් වුණා. මෙම ව්‍යාපෘති සළකා බලමින් පවතින බව මම ඔවුන්ට පැවසුවා. නමුත් සත්‍යය නම්, ඔවුන් තවමත් සළකා බලනවාද නැතහොත් ප්‍රතික්ෂේප කර තිබේද යන්න මම දන්නේ නෑ,” යනුවෙන් ද ඔහු එහිදී පැවසුවේය.

මෙම ආයෝජනවල ප්‍රමාදයන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතාවලට හානි කළ හැකි අතර, අනෙකුත් ආයෝජකයන්ගේ පැමිණීම වළක්වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.

“ඉන්දියාව අපේ රට තුළ ආයෝජනය කළ පසු ඒක අනෙක් අය අනුගමනය කරයි. 2050 වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වෙන්න පුලුවන්. අපට වර්ධනය අවශ්‍ය වන අතර එය සාක්ෂාත් කරගැනීමට ඇති එකම ක්‍රමය වෙනත් රටවල් සමඟ වැඩකිරීම සහ විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීම‍යි” ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයකට පැමිණ ඇති බව පිළිගත් රනිල් වික්‍රමසිංහ පැවසුවේ දිගුකාලීන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින බවයි.

“මේ වන විට, අපි ස්ථාවර වෙමින් සිටිනවා, තවත් කිසිවක් නැහැ ඉදිරියට යාමට, අපට විශාල වෙනස්කම් අවශ්‍ය වෙනවා. අපි දුප්පත් වීමට අවශ්‍ය නැහැ. අපට ඩොලර් ට්‍රිලියන ආර්ථිකයක් ගොඩනගා ගත හැකිය, අපි ඒ සඳහා යා යුතුයි,” ඔහු සඳහන් කළේය.