January 29, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කර ඇතැයි කියන විශේෂ නියෝගයක් ඇතුළත් ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත දන්වා තිබේ.

දකුණු පළාතේ ජාවාරම්කරුවකුට ඔහුගේ ජාවාරම කරගෙන යෑමට ඉඩ ලබාදෙන ලෙස කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට, එවකට ආරක්ෂක ලේකම්වරයාට සහ ජනාධිපති ලේකම්වරයාට මෙම නියෝග සහිත ලිපිය යවා ඇති බවත්, එම ලිපිය සත්‍ය එකක්ද නැතිනම් අසත්‍ය එකක්ද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරිය දැනුවත් කර ඇත.

මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමුකර ඇති බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ.

ඉදිරිපත් කරුණු සියල්ල සළකා බැලීමෙන් අනතුරුව මෙම ලිපිය ව්‍යාජ එකක්ද, නැතිනම් සත්‍ය එකක්ද යන්න පිළිබඳව විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් විමර්ශන නිලධාරීන්ට නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%