December 28, 2024

ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිට ඉන්දීය ජාතිය ගොඩනැගීමේ සහජ අවබෝධයක් තිබු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

7 වැනි වරට පැවති අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සිය දේශනය ආරම්භයේදීම හිටපු ජනාධිපතිවරයා ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ පැවසුවේ නරසිංහ රාඕගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස ඔහුගේ පළමු අයවැය කතාව ඉන්දියානු ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ බවයි.

ඔහු නොමැතිව ඉන්දියාවේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු නොවනු ඇති අතර එම ප්‍රතිසංස්කරණ නොමැතිව නවීන ඉන්දියාවක් ඇති නොවනු ඇති බව ද ඔහු කියා සිටියේය.

පසුගිය කාලය තුළ ඔහු ආශ්‍රය කරන්න ලැබීම භාග්‍යයක් වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

“දශක හතරක් පුර මා ඇසුරු කළ නායකයකු වන අතල් බිහාරි වජ්පායිගේ 7 වැනි අනුස්මරණ දේශනය පැවැත්වීමට ආරාධනා කිරීමෙන් ඔබ මට විශාල ගෞරවයක් ලබා දී තිබෙනවා. 2024 දෙසැම්බර් 25 වෙනිදා එතුමාගේ ජන්ම ශත සංවත්සරය ද වූ බව අප සිහිපත් කළ යුතුයි. අප අතර වයස් පරතරයක් තිබුණද, අපගේ අදාළ වෘත්තීන් බොහෝ විට එකිනෙකා සමඟ බැඳී තිබුණා. අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නම දේශපාලනයේ උස් පහත්වීම් ගණනාවකට මුහුණ දුන්නා. අපි දෙන්නම අපේ ව්‍යවස්ථාදායකයේ විපක්ෂ නායක ධුර දැරුවා. 2001 සිට 2004 දක්වා අපි අපේ රටවල් දෙකේ සමගාමී අගමැතිවරු. වසර කිහිපයකට පසු, ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගත් අතර, මම අවසානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමේ දී ඔහු නොසිටීම කණගාටුදායකයි” යනුවෙන් වික්‍රමසිංහ පැවසීය.

 

42.31%
17.27%
32.76%