June 18, 2024

කොවිඩ් 19 වසංගතය අතරතුර ‘ආදාහනය’ බලාත්මක කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලා සිටියේය.

“ සිදු වූ දෙයට මෙම සභාවට සමාව ගැනීමට අවශ්‍යයි,” ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මෙම කාලය තුළ ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුන්ට පමණක් නෙවෙයි, මම දන්නවා මිහිදන් කිරීමට කැමති හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානී අයටද බොහෝ වේදනාවක් දැනුණා.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවක් විසින් ආදාහනය කිරීම නිර්දේශ කළ බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළ බවත් ඔහු පැවසීය.

“එබැවින් රජයට එය අනුගමනය කිරීමට සිදු වුණා. ඒ වෙලාවේ විකල්පයක් තිබුණේ නැහැ.” යැයි ද ඔහු සඳහන් කළේය.

භුමිදානය කිරීමේ අයිතිය, ආදාහනය කිරීමේ අයිතිය හෝ වෛද්‍ය ආයතනවලට තම සිරුර තෑගි කිරීමේ අයිතිය ලබා දෙන නීතියක් මෙරටට හඳුන්වා දීමට නියමිතය.

“මේ රටේ ඕනෑම පුද්ගලයකුට තමාව මිහිදන් කරනවාද, ආදාහනය කරනවාද, වෛද්‍ය පීඨයට දෙනවාද යන්න තීරණය කිරීමට අයිතියක් තිබිය යුතුයි.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

2020, 2021 දී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වය යටතේ වෛරසයට ගොදුරු වූ මුස්ලිම් සහ ක්‍රිස්තියානුවන් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිව ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් මුරණ්ඩු ක්‍රියාමාර්ගය එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහ මුස්ලිම් රටවල පුළුල් හෙළාදැකීමට ලක්විය.

2022 දී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් රට බිඳවැටීමට පෙර තෙල් සහ ණය වෙනුවෙන් ණය මාර්ග සඳහා ශ්‍රී ලංකාව නැවත නැවතත් කළ ඉල්ලීම් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය සහ මැදපෙරදිග රටවල් ප්‍රතික්ෂේප කිරීමට, පසුකාලීනව ඔහු විසින් විශේෂඥයන්ට දොස් පැවරූ රාජපක්ෂගේ එම අහංකාර ප්‍රතිපත්තිය හේතු විය.

 

42.31%
17.27%
32.76%