October 30, 2023

අලාභ ලබන සෙවණගල සීනි කර්මාන්ත ශාලාව හිටපු ඇමැති දයා ගමගේට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා වැවිලි කර්මාන්ත ඇමැති ධූරය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් ඉවත්කර මහින්ද අමරවීරට ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

2001 වසරේ පැවැති රාජ්‍ය ව්‍යවසාය මිලදී ගැනීමේ වැඩසටහන යටතේ දයා ගමගේ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව මිලදී ගත් අතර, පසුව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එය රජයේ අයිතියට පවරා ගනු ලැබීය.

කෙසේවෙතත් නැවත සෙවණගල සීනි කර්මාන්ත ශාලාව හිටපු ඇමැති දයා ගමගේට ලබාදීමට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති නමුත් එම පියවරට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සෙවණගල සඳහා වූ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෑත කාලීනව කැබිනට් අමාත්‍යාංශවල අදාළ වෙනස සිදු වූ බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇමැති මණ්ඩල සංශෝධනයේදී වෛද්‍ය රමේෂ් පතිරණ එවකට ඔහු දැරූ කර්මාන්ත ඇමැතිධුරයට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීම් ලැබුණු නමුත්, ඔහු දැරූ වැවිලි කර්මාන්ත ඇමැති ධූරය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යටතට පැවැරිණි.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීම ජනමාධ්‍ය අවධානයට ලක්වුණද, දේශපාලන ලෝකයේ සැබෑ ලෙසම මතභේදයට තුඩු දී ඇත්තේ මහින්ද අමරවීර වැවිලි ඇමැතිවරයා ලෙස පත්කිරීම බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රතිවිපාක නොතකා දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ශ්‍රීලනිප කැරලිකරුවන් ජනාධිපති වික්‍රමසිංහගේ නියෝග ක්‍රියාත්මක කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැඟී ඇති බව ආරංචි මාර්ග අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති කාර්යාලයට ඉහළම මට්ටමින් කරුණු ඉදිරිපත් කළ බවද වාර්තා වේ.

වරක් පාඩු ලබන ව්‍යාපෘතියක් සඳහා විශාල ආයෝජනයක් කළ බැවින් රජය තමන්ට මෙම කර්මාන්ත ශාලාව යළි භාරදිය යුතු බව හෝ වන්දි ගෙවිය යුතු බව හිටපු ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ සඳහන් කර ඇතැයි පැවැසේ.

42.31%
17.27%
32.76%