January 4, 2024

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ බවට වරදකරු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු 2021 මාර්තු මාසයේදී කේරළ වෙරළට ඔබ්බෙන් ඇල්ලූ ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය, AK 47 රයිෆල් සහ පතොරම් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධ සාක්ෂිකරුවකු බවට පත් කර තිබේ.

චෙන්නායිහි කුන්‍රතූර් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු වන එම සිද්ධියේ ප්‍රධාන චූදිත සුරේෂ් රාජ් හෙවත් කට්ටා සුරේෂ්ගේ ඇප පෙත්සම කොචි ජාතික විමර්ශන ඒජන්සි අධිකරණය විසින් පසුගියදා සළකා බැලූ අවස්ථාවේදී රොබට් පියස් නම් සාක්ෂිකරුගේ ප්‍රකාශය සාකච්ඡාවට ලක්විය.

කේරළ වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක් වන රවිහංසි සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 මාර්තු මාසයේදී නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුගෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 300කට වැඩි ප්‍රමාණයක්, AK-47 රයිෆල් පහක් සහ මිලිමීටර් 9 පතොරම් 1,000ක් සොයා ගැනීමට හැකි විය.

තමිල්නාඩු Q-ශාඛාව විසින් තවත් නඩුවකට සුරේෂ් මුලින්ම රඳවා ගනු ලැබුවේ අලුවා අසල ස්ථානයක නැවතී සිටි ඔහුගේ සහෝදරයා සමඟය.

ජාතික විමර්ශන ඒජන්සිය විසින් පුද්ගලයන් 23 දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකර තිබූ අතර ඉන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වේ.

රොබට් පියස් සහ බිරිඳ දේශපාලන රැකවරණ පතා 1990 දී යාපනයේ සිට තමිල්නාඩුවට පැමිණ තිබිණි.

1991 මැයි මාසයේදී රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහුට, ඝාතන කුමන්ත්‍රණයේ කොටස්කරුවකු සහ මහ මොළකරු සිවරාසන්ටත් මරාගෙන මැරෙන බෝම්බකරු වූ ධනුට ආධාර කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.

එහෙත් පසුගිය වසරේ ඔහු සිරෙන් නිදහස් විය.

සුරේෂ්ගේ ඇප අයැදුම(පසුව නිෂ්ප්‍රභ කෙරිණි) විභාග කරන අතරවාරයේ දී අධිකරණය විසින් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු ඇතුළු ආරක්ෂිත සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සළකා බලන ලදී.

74 වැනි සාක්කිකරු ලෙස නම් කර ඇති පියස් විසින් ලබා දුන් කටඋත්තරයද අධිකරණයට ඉදිරිපත් විය.

ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන පසුව සාක්ෂිකරුවකු බවට පත් වූ තවත් නඩුවක චූදිතයකු වන සෞන්දරාජන්, පියස් සමඟ ඇති සම්බන්ධය ප්‍රකාශ කළේය.

තවත් සාක්ෂිකරුවකු වන කාර්තික්, පියස් සමඟ ඔහුගේ හමුවීම ගැන ජාතික විමර්ශන ඒජන්සිය වෙත ප්‍රකාශ කළේය.

සුරේෂ්ගේ ඇප පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයේ දී, උසාවිය විසින් පියස්ගේ ප්‍රකාශය සාකච්ඡාවට ගත්තේය.

“74 වැනි සාක්ෂිකරු රොබට් පියස්, සීආර්පීසී 161 යටතේ ඔහුගේ ප්‍රකාශයට අනුව, චූදිත සුරේෂ් සත්ගුණම් සමඟ සහ තහනම් සංවිධානයක් සමඟ ඇති සම්බන්ධය ගැන ද කතා කරයි. ”යනුවෙන් එහිදී ප්‍රකාශ විය.

පියස් හැරුණු විට, නඩුවේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ප්‍රකාශ ලබා දුන්නේ සුරේෂ් රාජ් සහ සත්ගුණම් එල්ටීටීඊය නැවත පණ ගැන්වීම සඳහා රැස්වීමක් පැවැත්වූ බවයි.

සෞන්දරරාජන් සිය ප්‍රකාශයේ දී ජාතික විමර්ශන ඒජන්සිය වෙත පැවසුවේ, 2019 නොවැම්බරයේ සුරේෂ් රාජ්ගේ නිවසේ සත්ගුණම් ද සහභාගී වූ රහස් රැස්වීමකට තමා සහභාගී වූ බවයි.

ඔහු මෙන්ම සුරේෂ් රාජ් එල්ටීටීඊය සමඟ ඇති සම්බන්ධය ගැන ද සාක්ෂිකරු ප්‍රකාශ කර තිබේ.

මේ සියලු දෙනා සම්බන්ධ කරගෙන මෙම ගනුදෙනු ක්‍රියාත්මක වන ආකාරය, මත්ද්‍රව්‍ය මාෆියාවේ තොරතුරු සහ ශ්‍රී ලංකාවේ සිට මාකඳුරේ මධුෂ්ට ඉන්දියාවට පැමිණීමට වත්මන් විත්තිකරු ඇතුළු පිරිස උදව් කළ ආකාරය එම ප්‍රකාශයේ සඳහන් වේ.

“පාපොච්චාරණ ප්‍රකාශයේ මුදල් සහ අවි ආයුධ ගැනත් සඳහන් වෙනවා” යැයි අධිකරණ නියෝගයේ සඳහන් විය.

42.31%
17.27%
32.76%