August 25, 2024

යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයාව සිටි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා 2019 වසරේ අධිකරණයේ නඩුවක් පැවරූ, කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල සමගි ජන බලවේගයට එක්වී තිබේ.

රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රධාන ආයතනවල මුද්‍රණ ඇණවුම් භාරදෙන පෞද්ගලික සමාගමක කොටස් හිමිකරුවකු ලෙස අදාළ සමාගමට රජයේ මුද්‍රණ කටයුතු ලබාදෙමින් ලබැදියාවෙන් අතර ගැටුමක් නිර්මාණය වන ලෙස කටයුතු කිරීම දූෂිත යැයි අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකින් පෙන්වා දී රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා තිබිණි.

ශර්මිලා ගෝනවෙල පසුගිය සිකුරාදා (24)දින වරකාපොල පැවැත් වූ සමගි ජන බල වේගය රැස්වීමේදී සජිත් ප්‍රේමදාසට සහායදීම සඳහා එකතු විය.

2018 වසරේ පොහොට්ටු පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට පත්වු ශර්මිලා ගෝනවෙල රාජපක්ෂ පවුලේ සමිපතම පෞද්ගලික හිතවතියක් වූවාය.

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව සේවයෙන් වැඩ තහනමකට ලක්ව සිටි කාලයේ ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කරුණු දක්වමින් නැවත යෝෂිත සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමට පවා ශර්මිලා ගෝනවල කටයුතු කළ බව වාර්තා විය.