July 23, 2024

QR කේතයක් මත පදනම්ව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ ක්‍රියාවලිය පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡාවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 12) පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු ප්‍රකාශයක සඳහන් වේ.

එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසා ඇත්තේ, වසරකට ප්ලාස්ටික් ටොන් 450,000ක් මෙරටට ආනයනය කළත් ප්‍රතිචක්‍රීකරණය සඳහා එක්රැස් කරන්නේ ටොන් 50,000ක් පමණක් බවත් රට තුළ විවෘත පරිසරයේ විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් පිළිස්සීම සිදුවන බවත්ය.

ප්‍රධාන වශයෙන් PET ප්ලාස්ටික් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරණ ඔහු, දළ වශයෙන් මෙරට මසකට PET ප්ලාස්ටික් ටොන් 1200ක් පමණ භාවිත කළත් ඉන් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ටොන් 400ක් පමණක් බවත්, ඉතිරි ටොන් 900 අනිසි ලෙස පරිසරයට මුදාහරින බවත් අනාවරණය කරයි.

එම ප්ලාස්ටික් ගංඟා සහ ඇළ මාර්ගවල දමන බවත් තවත් කොටසක් විවෘත පරිසරයේ පිළිස්සී පස්වල වැළලී යන බවද මෙහිදී අවධාරණය කෙරිණි.

PET ප්ලාස්ටික් බෝතල් එකතු නොකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බෝතල් සඳහා මිලක් නොමැතිකම හේතුවෙන් ජනතාව ඒවා එකතු කිරීමට උනන්දු නොවීම බවද මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, QR කේතයක් මත පදනම්ව ප්‍රතිචක්‍රීකරණය සඳහා PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල අනුගමනය කරන ක්‍රම පිළිබඳව අධ්‍යයනයක් කර කමිටුවට වාර්තා කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

42.31%
17.27%
32.76%