February 9, 2024

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර තොගය සඳහා චීනයේ සීමාසහිත ක්වින්දාවෝ සමාගම (Qingdao Seawin Biotech Group Company) වෙත ගෙවන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක මුදල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ උප ඇමැති මා යූෂියැං ප්‍රමුඛ චීන නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහාවන 37 වැනි කලාපීය සමුළුව මෙම මස 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, උප ඇමැති මා යූෂියැං සහ තවත් නිලධාරීන් කිහිප දෙනකු ඊට සහභාගී වීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව, පොහොර සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කර දෙරට අතර මිත්‍රශීලී සබඳතාවට මෙන්ම දෙරට අතර පවතින මිත්‍රත්වයට හානියක් නොවන අයුරින් එය විසඳාගැනීම සඳහා යූෂියැං සමඟ සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස විෂය භාර ඇමැති මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඇතුළු අදාළ නිලධාරීන්ට මෙම රැස්වීමට සහභාගීවන ලෙස ආරාධනා කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම් ජනක ධර්මකීර්තිට උපදෙස් දී ඇත.

Qingdao Seawin Biotech Group Co Ltd විසින් නැව්ගත කරන ලද මතභේදාත්මක පොහොර තොගය රැගෙන මාස තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා මුහුදේ පැවති ‘Hippo Spirit’ නෞකාව 2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් පිටත් විය.

42.31%
17.27%
32.76%