December 1, 2024

පුත්තලම නගරයේ ගංවතුර වැළැක්වීම සඳහා සකස් කර තිබූ තාවකාලික කාණු පද්ධතියක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නාඩෙම්කුලම් වැවේ වාන් දොරටුවලින් පිටවන ජලය පුත්තලම නගරයට ඇතුළුවීමත්, එම ප්‍රදේශය ජලයෙන් යටවීමත් වැළැක්වීම සඳහා ‘කුවේට් රෝහල්’ පරිශ්‍රය ආසන්නයේ මෙම තාවකාලික කාණු පද්ධතිය ඉදිකර තිබිණි.

පසුගිය වසර කිහිපය පුරාවටම මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, අධික වර්ෂාවෙන් පසු වැවෙන් පිටවන ජලය හේතුවෙන් නගරයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 1000කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවිය.

නගරයට ජලය පිටාර ගැලීම වැළැක්වීමට සහ පුත්තලම කලපුවට ජලය හැරවීමට නිලධාරීන් විසින් තාවකාලික කාණු පද්ධතිය සකස් කර තිබිණි.

කෙසේවෙතත්, මෙම කාණු පද්ධතිය හේතුවෙන් තම ගම ජලයෙන් යටවන බව පවසමින් ඒ ආසන්නයේ මුල්ලිකුලම් ගම්මානයේ පිරිසක් බලහත්කාරයෙන් පද්ධතිය මුළුමනින්ම කඩා ඉවත් කර ඇති බව වාර්තා වේ.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් සම්පත් වීරසේකර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මුල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි කියා ගන්නා පුද්ගලයන් පිරිසක් නීතිවිරෝධී ලෙස සහ බලධාරීන්ගෙන් කිසිදු විමසීමකින් තොරව තාවකාලික කාණු පද්ධතිය කඩා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එම ප්‍රදේශය හරහා ජලය ගලාඒම වැළැක්වීම සඳහා ඔවුන් එම ස්ථානයේ වැලි කොට්ට ද දමා තිබිණි.

පුත්තලම නගර සභාවට අයත් JCB යන්ත්‍ර යොදා ගනිමින් මෙම බාධා ඉවත් කර ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%