June 18, 2024

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24කට පසු ප්‍රථම වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී පියොංයැං අගනුවරදී සාකච්ඡා කරනු ඇත.

නායකයන් දෙදෙනා අවසන් වරට හමුවූයේ සැප්තැම්බර් මාසයේදී රුසියාවේ ඈත පෙරදිග පිහිටි Vostochny cosmodrome හිදීය.

නමුත් 2000 වසරෙන් පසු පුටින් පියොංයැං වෙත පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම රටවල් දෙක අතර ගැඹුරු වන සබඳතාව පිළිබඳ තමන් කණස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජනපදය පවසයි.

ක්‍රෙම්ලිනය මෙම සිදුවීම ‘මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක්’ ලෙස විස්තර කර ඇති අතර පුටින් සහ කිම් ආරක්ෂක ගැටලු ඇතුළු හවුල් ගිවිසුමකට අත්සන් කළ හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

නායකයන් ද්දෙදෙනා මාධ්‍යයට ඒකාබද්ධ ප්‍රකාශ ලබා දෙනු ඇතැයි පැවසේ.

පුටින් වෙනුවෙන් කිම් ඉල් සුං චතුරශ්‍රයේ පෙළපාලියක් අපේක්ෂා කෙරේ.

ප්‍රසංගයක් නැරඹීමට සහ උතුරු කොරියාවේ එකම ඕතඩොක්ස් පල්ලිය වන පියොංයැංහි පල්ලිය නැරඹීමට ද පුටින් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2019 වසරේ උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී චීන නායක ෂී ජින්පින් අවසන් වරට නවාතැන් ගත් පියොංයැං හි කුම්සුසාන් ආගන්තුකාගාරයේ පුටින් රැඳී සිටිනු ඇතැයි වාර්තා වේ.

පුටින් ඔහුගේ නව ආරක්ෂක ඇමැති ඇන්ඩ්‍රි බෙලූසොව් සමඟ පැමිණීමට අපේක්ෂා කරන අතර විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ද නියෝජිත පිරිසට සහභාගී වනු ඇත.

තම සංචාරයට පෙර යුක්රේනයේ මොස්කව් යුද්ධයට ‘තදින් සහාය දීම’ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට ප්‍රශංසා කළේ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයේ පළ වූ ලිපියකය.

උතුරු කොරියාවේ පාලක පක්ෂ මාධ්‍ය වන රොඩොං සින්මුන්හි මුද්‍රණය කරන ලද ලිපියේ ‘බටහිර විසින් පාලනය නොකරන’ පියොංයැං සමඟ වෙළඳ සහ ආරක්ෂක පද්ධති ගොඩනැගීමට ඔහු පොරොන්දු වී තිබේ.

‘එක්සත් ජනපද පීඩනය, බ්ලැක්මේල් කිරීම් සහ මිලිටරි තර්ජන’ ලෙස ඔහු හැඳින්වූ දේ නොතකා එහි අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට පියොංයැං දරන උත්සාහයට සහය දෙන බවට ද ජනාධිපති පුටින් පොරොන්දු වී ඇත.

කිම් පසුගිය සතියේ ප්‍රකාශ කළේ රුසියාව සමඟ ඇති සබඳතා එකිනෙකා අතර නොබිඳිය හැකි සබඳතාවක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ රුසියාව සහ උතුරු කොරියාව අතර සමීප සබඳතා පිළිබඳ එක්සත් ජනපදය සැළකිලිමත් වන බවයි.

පුටින්ගේ ගමන ගැන අපි සැළකිලිමත් නැහැ. අපි කණස්සල්ලට පත්වන්නේ මෙම රටවල් දෙක අතර ගැඹුරු වන සම්බන්ධතාව ගැනයි,” යැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා වාර්තාකරුවන්ට පවසා තිබේ.

උතුරු කොරියාවෙන් පසු පුටින් කොමියුනිස්ට් රාජ්‍යයක් සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන වියට්නාමයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී දෙරටේ වෙළෙඳාම වැනි කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.