March 18, 2024

අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවතත් සිය බලය තහවුරු කරගෙන තිබේ.

එහෙත් එම මැතිවරණය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත්තේ එහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදීභාවයක් සහ නීත්‍යනුකූලභාවයක් නොමැති බවටයි.

මැතිවරණයට පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුටින් ප්‍රකාශ කළේ, මෙම ප්‍රතිඵලය බටහිරට එරෙහිව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණය සනාථ කිරීමක් බවය.

“කාටහරි කොහොමහරි අපව බිය ගැන්වීමට අවශ්‍ය වුවත් කාටහරි කොහොමහරි අපව යටපත් කිරීමට අවශ්‍ය වුවත් අපගේ විඥානය සහ ශක්තිය නිසා ඉතිහාසයේ කිසිවකුට එවැන්නක් සාර්ථක කරගන්න හැකි වී නැහැ,” යනුවෙන් අද උදෑසන ඔහුගේ මැතිවරණ ප්‍රචාරක මූලස්ථානයේ පැවති දේශනයකදී පුටින් පැවසීය.

“එහෙම දෙයක් දැනට වෙලත් නැහැ, අනාගතයේදී වෙන්නෙත් නැහැ. කවදාවත්ම නැහැ.” යනුවෙන් පුටින් පැවසීය.

ඉරිදා දිනයේ අවසන් ඡන්ද විමසීමෙන් ටික වෙලාවකට පසු, පූර්ව වශයෙන් දක්නට ලැබුණේ සියලු දෙනා අපේක්ෂා කළ නිගමනයයි.

එනම් පුටින් ඔහුගේ වසර 25කට ආසන්න පාලනය තවත් වසර හයකට දීර්ඝ කර ගැනීමයි.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව ගණනය අවසන් කර ඇති සියයට 60ක් පමණ වන ප්‍රදේශවලින් ඔහුට සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබේ.

එහි ප්‍රතිඵලය වන්නේ 71 හැවිරිදි පුටින්, ජෝසප් ස්ටාලින් අභිබවා යමින් වසර 200කට පමණ පසු රුසියාවේ දීර්ඝතම කාලයක් සේවය කළ නායකයා බවට පත්වීමයි.

කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් සියයට 4කට අඩු ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත් වූ අතර නවක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වැනි ස්ථානයට සහ අන්ත ජාතිකවාදී ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වැනි ස්ථානයට පත් වූ බව මුල් ප්‍රතිඵල මගින් ප්‍රකාශ විය.

ඡන්ද විමසීම අවසන් වන විට රටපුරා ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 74.22ක් වූ බව රුසියානු මැතිවරණ නිලධාරීහු පවසති.

එය 2018 මට්ටම් වූ සියයට 67.5 ඉක්මවා යෑමකි.

පුටින්ගේ ජයග්‍රහණය කිසිවිටෙක සැකසහිත නොවූයේ ඔහුගේ විවේචකයන් බොහෝදුරට සිරගතව, පිටුවහල්ව හෝ මියගොස් සිටීම සහ ඔහුගේ නායකත්වය පිළිබඳ ප්‍රසිද්ධ විවේචන යටපත් කර තිබූ බැවිනි.

රුසියානු නායකයාගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි පසුගිය මාසයේ ආක්ටික් බන්ධනාගාරයකදී මියගියේය.

එක්සත් ජනපදය පැවසුවේ ඡන්දය නිදහස් හෝ සාධාරණ නොවන බවයි.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක පැවසුවේ, පුටින් දේශපාලන විරුද්ධවාදීන් සිරගත කරමින් සහ අනෙක් අය ඔහුට එරෙහිව තරඟ කිරීම වැළැක්වූ ආකාරය අනුව මැතිවරණය පැහැදිලිවම නිදහස් හෝ සාධාරණ නොවන බවයි.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් X හි සටහනක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ඡන්දය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස නොපෙනුණු බවයි.

රුසියාවේ මිලියන 114ක ඡන්දදායකයන්ගෙන් කී දෙනෙක් ඉරිදා පෙළපාලිවලට සහභාගී වූවාද යන්න පිළිබඳ ස්වාධීන වාර්තාවක් නොතිබුණද, පුටින්ගේ විරුද්ධවාදීන් දහස් ගණනක් ඔහුට එරෙහිව විරෝධතා පැවැත්වූහ.

නවාල්නිගේ ආධාරකරුවන් රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේ “පුටින්ට එරෙහිව දහවලක්” තේමාවෙන් විරෝධතාවකට පැමිණෙන ලෙසයි.

සිය ජනමාධ්‍ය හමුවේදී පුටින්, නවාල්නිගේ මරණයෙන් පසු පළමු වතාවට ඔහුගේ නම සඳහන් කළේ බටහිර රටවල රඳවා සිටින සිරකරුවන් වෙනුවට ඔහු නිදහස් කිරීමේ යෝජනාවකට තමා සහාය දුන් බව පවසමිනි.

“මා සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ඔහුගේ වාක්‍යය අවසන් කර තිබුණෙත් නැහැ, මම ‘මම එකඟයි’ යැයි කිව්වා ,” පුටින් පැවසීය.

හිටපු රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් 1999 වසරේ ඉල්ලා අස්වීමත් සමඟ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පුටින් මුලින්ම නම් කරන ලදී.

ඉන්පසුව ඔහු 2000 මාර්තු මාසයේදී සිය පළමු ජනාධිපතිවරණය ජයගත් අතර 2004 දී දෙවැනි වාරයද ජයග්‍රහණය කළේය.

ජනාධිපති ලෙස වාර දෙකකට පසුව, පුටින් 2008 දී නැවත අගමැති ධුරයට මාරු වූයේ රාජ්‍ය නායකයා ලෙස පිට පිට වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් දැරීමේ ව්‍යවස්ථාමය තහනම මග හැරීම සඳහාය.

නමුත් ඔහු 2012 දී නැවත ජනාධිපති ධුරයට පත් වූ අතර 2018 දී සිව්වන වරටත් ජයග්‍රහණය කළේය.