42.31%
17.27%
32.76%
October 16, 2023

මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති පොලිස් ස්ථාන සහ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබේ.

මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිස් මූලස්ථානයේ චක්‍රලේඛ සහ උපදෙස් පිළිපැදීමට පොලිස්නිලධාරීන් අපොහොසත් වී ඇති බව පොලිස් මූලස්ථානය කළ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මේ වන විට හඳුනාගෙන ඇති එවැනි සිද්ධීන් 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

එම සිද්ධීන් 125 පිළිබඳ විමර්ශනයට අදාළව මේ වන විට නඩු 84ක විමර්ශන අවසන් කර ඇත.

ඉන් 61ක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, එම ලිපිගොනු 61න් 13ක චෝදනා තහවුරු කිරීමෙන් අනතුරුව නිලධාරීන් 09 දෙනෙකුට චෝදනා ගොනු කර 19 දෙනෙකුට අවවාද පත්‍රිකා ලබාදී තිබේ.

ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ලිපිගොනු 23ට ද චෝදනා එල්ල වී අවවාද කර ඇති අතර, ලිපිගොනු 41ක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

චෝදනා එල්ල වී ඇති නිලධාරීන් අතර පොලිස් ස්ථානාධිපතිවරුන් ද සිටින අතර ඔවුන් ඉදිරියේදී එම තනතුරුවලින් ඉවත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එවැනි අකාර්යක්ෂමතාවන් පිළිබඳව පොලිස් මූලස්ථානය විසින් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන උසස් පොලිස් නිලධාරීන්ට සහ සෙසු නිලයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් එම කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%