July 20, 2024

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් මන්ත්‍රීවරුන්ට තර්ජනය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කර තිබේ.

30(2) සහ 62(2) ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් සිදු කරන ලද සංශෝධනවලට අනුකූලව 83 වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා 22A ව්‍යවස්ථා සංශෝධනය ගෙන් ඒමට දැනට යෝජනා කර තිබේ.

පුබුදු ජයගොඩ කියා සිටියේ මෙම සංශෝධනය අනවශ්‍ය බවත් ව්‍යවස්ථානුකූලව එය කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවලියක් බවත්ය.

මෙම සංශෝධනය ගෙන ඒමේදී වික්‍රමසිංහ ඇතුළු පිරිසට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරණය කල් දැමීමේ ව්‍යායාමය පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයක් පැවැත්වීම බවද ඔහු සඳහන්කරයි.

“ආණ්ඩුවේ නායකයන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පනතට සහාය දෙන්න කියලා. පනතට පක්ෂව ඡන්දය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුවේ මුල්වරට පත්වුණු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සිටින නිසා කලින් විසුරුවා හැරියහොත් විශ්‍රාම වැටුප් ඇතුළු ප්‍රතිලාභ රැසක් ඔවුන්ට අහිමි වනවා” යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිසමේ හැසිරීම ඉතා සැක සහිත බව ද පුබුදු ජයගොඩ සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අපේක්ෂකයන් සුබ වේලාවන් අනුගමනය කරන බැවින් කොමිෂම ද රාහු කාලය වළක්වා ගැනීමට දිනයක් සහ වේලාවක් නියම කරන බවයි.

“ලිතක් බලලා රාහු කාලයෙන් බේරෙන්න පුළුවන්. අපි පසුගිය කාලයේ මැතිවරණ රාශියක් පැවැත්වූවා. අපි දින වකවානු තෝරා ගත්තේ නැකැත් බලලා නෙවෙයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු 22A ගැසට් නොකරන ලෙස බ්‍රහස්පතින්දා (18) සවස තම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි.

42.31%
17.27%
32.76%